1.1. මූලාශ්‍ර ඇගයීම


ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඔබට මිනිසුන් විවිධ කරුණු ගැන පවසන්නට පුළුවන, මේ අතරින් සමහර දේවල් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් හෙළිදරව් කිරීමට තරම් නොවන කරුණු විය හැකිය. ඔබ මූලාශ්‍රයකට පිවිසෙන විටද පෙර කී ප්‍රකාශය අදාළ වෙනු ඇත. තමන් විඳින දුක්ගැනවිලි, විශ්වාසයන් ගැන විවිධ කතා, අතිශයෝක්ති ආදිය ඔවුන් දන්නා පුද්ගල මූලාශ්‍ර පවසනු ඇත. සමහර මූලාශ්‍ර ඕනෑවටත් වඩා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙනු ඇත, ඔබට අවශ්‍යයි සිතෙන පිළිතුරු ඔවුන් පවසනු ඇත. කෙසේවුවත්, ඔබ මූලාශ්‍ර ගැන කරන පසුබිම් පර්යේෂණය මීට ආලෝකයක් ගෙනදෙනු ඇත, ඔබ සමග කතා කරන අතරතුර ඔවුන් හැසිරෙන්නේ කෙසේද යන්න ගැන කරන නිරීක්ෂණ ඉදිරියේදී උපකාර වනු ඇත.

සමහර අවස්ථාවලදී මිනිස්සු අවංකව වැරදි සිදුකරන අතර තොරතුරු අමතක කර දමයි. සෑම තොරතුරක්ම ස්වාධීන තුන්වන මූලාශ්‍රයකින් තහවුරු කරගත යුතු වන්නේ මේ හේතු දෙක නිසාය. සියලුම සාක්ෂි එකම දිශාවකට යොමුවී තිබිය යුතුය, (නමුත් එය එලෙසින්ම සිදුවන්නේ ඉතා කලාතුරකිනි) මූලාශ්‍ර දෙකක් වත් හමුවී මේ දෙදෙනා කියන කතාව එකමදැයි විමසිය යුතුවේ. ඔබට දෙවැනි මූලාශ්‍රයක් සොයාගැනීමට නොහැකි නම්, ඒ වෙනුවෙන් කාලයක් නැත්නම්, ඒ බව ඔබේ ප්‍රේක්ෂකයින්ට දැනවිය යුතුවේ. ඒ සඳහා ‘මේ ප්‍රකාශය තහවුරු කරගැනීමට නොහැකි විය‘ වැනි වැකියක් යොදාගත හැකිවේ. තහවුරු නොකළ ප්‍රකාශ ගණනාවක්, චෝදනා පමණක් ඇත්නම් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස ඔබේ අඛණ්ඩතාව අවුල් කර දමනු ඇත.

ඔබේ දෙවැනි මූලාශ්‍රය තහවුරු කිරීම් වලට වඩා එකිනෙක ගැටෙන තොරතුරු ලබාදෙනවා යැයි සිතන්න, මෙවැනි අවස්ථාවකදී, මේ දෙපාර්ශ්වය ගැනම පාඨකයින්ට දැනුම් දිය යුතුවේ, නැතිනම් ඔවුන් අතර ඇති ආරවුල සම්බන්ධ කළයුතුවේ, ‘සන්නද්ධ පිරිස් දේශසීමා මායිම හරහා ගිය බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි‘, ‘ඔවුන් නිරායුධව සිටි බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි‘ යනුවෙන් තොරතුරක් ඉදිරිපත් කළහැක. ඔබ විස්තර කිරීමට උත්සහ කළ විස්තර ගවේෂණාත්මක පුවතට නොගැළපේ නම් ඒවා නොසලකා හරින්නට නොහැකිය, මෙහි පරදුවට තබා තිබෙන්නේ ඔබේම විශ්වසනීයත්වය හා වෘත්තීයභාවයයි. සුවිශේෂී වාර්තාකරණය හා පුළුල් සම්බන්ධතා ජාලයකින් යුතු සයිමුර් හර්ෂ් වැනි මාධ්‍යවේදියෙකු සමහරවිට එක් මූලාශ්‍රයක් මත පමණක් විශ්වාසය තබා තිබේ. මෙවැනි සුවිශේෂී වාර්තාකරණයක නියැලෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි.

මූලික මට්ටමේදී ඔබ සමග කතාබහ කරන අය කවුරුන්ද යන්න දැනගත යුතුවේ. ඔවුන් රාජකාරි කරන ස්ථානය, ලිපිනය, පවුලේ විස්තර, හමුදා විස්තර, විදේශ ගමන් බලපත්‍රය, හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය තහවුරු කළහැකිද ?, යම් මූලාශ්‍රයක් අපරාධ වලට සම්බන්ධ නම්, පෞද්ගලික දුර්වලතා තිබේනම්, මානසික රෝග තිබේනම්, ආර්ථික ගැටළු ඇත්නම්, වංචාවල නියැලී ඇත්නම් ඔවුන් පවසන්නේ කුමක්ද යන්න ගැන විමසිලිමත් විය යුතුවේ. නිසි මූලාශ්‍රයක් නැත්නම්, ඔහු / ඇය තොරතුරු සැඟවීමට ප්‍රබල හේතු ඇත්නම්, ඔවුන් සපයන තොරතුරු විශ්වාස කළහැකිද ?  යන්න ඔබ තීරණය කළයුතුය.

ඔබ සොයන දේ දන්නා විට ලැබෙන දේවල් වල ගුණාත්මකභාවය තක්සේරු කිරීමට හැකිවනු ඇත. මූලාශ්‍රය සම්පූර්ණ විස්තරයක් හෝ සාක්ෂි සමූහයක් සපයනවාද ?, ඔබට ඒ තොරතුරු වෙනත් ඕනෑම ආකාරයකින් කැබලි කළ හැකිද ?, මේවා එකිනෙක සමාන බව විශ්වාස කරමින් වෙනස් නිගමනයකට එළඹිය හැකිද ?, ‘සිදුරු‘ වූ තැන් තියෙන්නේ කොතැනකද ?, මූලාශ්‍රය ලබා තිබෙන අත්දැකීම් ඔහු / ඇයගේ ප්‍රජාව තුළ විඳි අත්දැකීම් නියෝජනය කිරීමට ඉඩ තිබේද ?, මේ තොරතුරු යාවත්කාලීන වී තිබේද ?, නැත්නම් මේ දේවල් මීට බොහෝ කාලයකට පෙර සිදුවූ දේවල්ද ? දැන් වනවිට තත්ත්වය වෙනස් වී තිබේද ? ඒවා මතකයෙන් ගිලිහී ගොස් තිබේද ? යන්න විමසිය හැකිවේ.