3. අතිවිශිෂ්ට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු බවට පත්වන්නේ කෙසේද ?

3. අතිවිශිෂ්ට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු බවට පත්වන්නේ කෙසේද ?


ගවේෂණාත්මක වාර්තාකරණය එක් රැයකින් බිහිනොවේ. මේ මූලික ගුණාංග වලින් සන්නද්ධ වන්න:

දැඩි උනන්දුව

ගවේෂණාත්මක මාධ්‍යවේදී එව්ලින් ග්‍රෝර්නින්ක් පවසන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සතු විය යුතු යුතු වැදගත්ම ගුණාංගය දැඩි උනන්දුව බවයි.

ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදෙන බොහෝ අවස්ථාවන්හිදී කාලය, ශක්තිය යොදමින් වෑයම් කිරීමට සිදුවන අතර කර්තෘවරයා මෙන්ම බලසම්පන්න පුද්ගලයින්ට පවා මෙය මහත් හිරිහැරයක් බවට පත්විය හැක. ඔබේ බලාපොරොත්තුව උසස් වීම් මෙන්ම ස්ථාවර වැටුපක් ලැබෙන ප්‍රභූ සමාජයේ සාද මෙන්ම උත්සව වලට ද ආරාධනා ලැබෙන කළමනාකරුවෙකු ලෙස රැකියාවේ යෙදීම නම්  ගවේෂණාත්මක වාර්තාකරුවෙකු වීම කිසිලෙසකින්වත් ඔබට ගැළපෙන රැකියාව නොවෙනු ඇත. නමුත්, ඔබ අභියෝග වලට මුහුණදෙමින් සත්‍යය හා සාධාරණය සොයාගෙන යෑමට පවතින උනන්දුව, ඒ වෙනුවෙන් වැය කරන කාලය, ශ්‍රමය ගැන ප්‍රශ්නයක් නැත්නම් ඔබට මෙන්ම ඔබේ පාඨකයින්ට ද සේවය කිරීමේ උනන්දුව පවතී නම් ඔබට සුදුසුම රැකියාව ගවේෂණාත්මක වාර්තාකරණයයි.

කුතුහලය

ගවේෂණාත්මක වාර්තාකරණය ඇරඹෙන්නේ ප්‍රශ්න ඇසීමට තිබෙන උනන්දුවත් සමගයි. සිද්ධි, පුවත් මෙන්ම එදිනෙදා ජීවිතයේ ඔබ අහන දකින දේවල් ගැන ප්‍රශ්න විමසන්නට හැකිය.

මුල පිරීම

බොහෝ පුවත් මැදිරි ක්‍රියාත්මක වන්නේ සීමිත සම්පත් හා නිශ්චිත කාල පරිච්ඡේද වලට අනුවය. පුවත් සමුළුවකදී අවධානයට ලක්වෙන ගවේෂණය යන අදහස නොදන්වා හෝ නොපැහැදිලි  ලෙස එලෙසින්, එසැණින් මෙවැනි පුවත් මැදිරියකදී ක්‍රියාවට නැංවිය නොහැකි වේ. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මූලික පර්යේෂණයක නියැලී මේ කටයුත්ත ආරම්භ කළ යුතු අතර විශේෂාංගය ගැන ශක්තිමත් සැලසුමක් සකසා ගත යුතුවේ. පුවත් මැදිරිය තවමත් මේ ගැන උනන්දුවක් නොදක්වයි නම් ගවේෂණාත්මක කටයුත්ත වෙනුවෙන් ඉදිරි සහයෝගය හා අරමුදල් ලබාගැනීම ගැන සොයාබැලිය යුතුවේ.

තර්කානුකූලව සිතීම, සංවිධානාත්මක බව හා ස්වයං විනය

ගවේෂණාත්මක වාර්තාකරණයේදී නිරතුරුව දරන්නට වෙන නීතිමය අවදානම, සියුම් තොරතුරක් වුවද නිවැරදි දැයි විමසීමට සිදුවීම ආදියට කාලය ගතවේ. කරුණු පරීක්ෂා කිරීම, කරුණු නැවත නැවත පිරික්සීම හා කතාව එකිනෙකට ගැළපේදැයි විමසිය යුතු බැවින් ඔ‍බේ කාලය ප්‍රයෝජනවත් පරිදි සැලසුම් කරගත යුතු වේ.

නම්‍යශීලී බව

ගවේෂණයකදී අනපේක්ෂිත සිද්ධි වලට මුහුණපෑමට සිදුවේ. සමහරවිට, පළමුව නැගෙන ප්‍රශ්නය එක් දිශාවකට යොමුවී එලෙසින්ම අවසන් වීමට හෝ වැදගත් කරුණු ගණනාවක් මතුවෙන තවත් ප්‍රශ්නයක් වෙත යොමුවී තිබීමට ද ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවකදී ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සිය පළමු පියවරේම නොසිට නැවත නැවත සිතීමට හා සිය පර්යේෂණය නැවත ගොඩනැගීමට  සූදානමින් සිටිය යුතුය.

කණ්ඩායම් හැඟීම හා සන්නිවේදන කුසලතා

බොහෝ සිනමාපට තුළ ගවේෂණාත්මක මාධ්‍යවේදියා ‘ස්වාධීන‘අයෙකු ලෙස පෙන්වයි. යම්කිසි කතා පුවතකදී රහස්‍යතාව අතිශය වැදගත් වන අවස්ථා තිබෙන අතර නිශ්චිත ආරක්ෂාව නොලැබෙන තෙක් මෙවැනි පුවතක් වෙනත් අය සමග පැවසීමට ද නොහැකි වේ. බොහෝවිට වඩාත් අගනා පුවත් බිහිවන්නේ පුවත් මැදිරියේ මෙන්ම ඉන් පිටත හිඳින බොහෝ දෙනෙකුගේ සහයෝගයෙන් යුතුව වන අතර මේ සියලුදෙනාගේ කුසලතා ඊට දායක කරගනී. උදාහරණයක් ලෙස කතෝලික පල්ලියේ බලධාරීන් සිදුකළ ළමා අපචාර සිද්ධි ගැන ගවේෂණයේ යෙදෙන ‘Spotlight’ කණ්ඩායම දෙස බලන්න. විද්‍යාව, සෞඛ්‍ය, ආර්ථිකය, සමාජ විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර වල පුළුල් දැනුම් පරාසයක් හිමි මාධ්‍යවේදීන්ගේ එකමුතුවෙන් ගවේෂණාත්මක පුවතක් බිහිවේ. වටිනා සමාජ සම්බන්ධතා මෙන්ම පුද්ගලයින් රැසක් දැන හඳුනාගෙන තිබීම ද කණ්ඩායමක් ලෙස ඒකරාශී වී කරන මේ කටයුත්තේදී වැදගත් වේ.

කණ්ඩායමේ සිටින සියලුම දෙනා පුවතේ අරමුණ හා  ප්‍රමිතීන් (නිරවද්‍යතාවය, අවංකභාවය, රහස්‍යභාවය) වටහාගෙන තිබීම, මනා සන්නිවේදන කුසලතා පැවතීම මෙන්ම සියලුම දෙනා මේ අරමුණ වෙනුවෙන් දායක වීම ද වැදගත් වේ.

පුවත් වාර්තාකරණය ගැන පවතින සුවිශේෂී කුසලතාව

ලේඛන කලාව පිළිබඳ උපාධියක් පැවතීම අත්‍යවශ්‍ය යන්න මින් අදහස් නොවේ. නමුත්, ඉන් ඔබ්බට ගොස් මූලාශ්‍රයක් නිවැරදිව හඳුනාගන්නේ කෙසේද ?, පුවත ගැන පර්යේෂණයක් සැලසුම් කරන්නේ කෙසේද ?, විධිමත් සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ කෙසේද ? (පිළිතුර සත්‍යයක් මෙන් පෙනෙන විට එය සත්‍යද ? නැද්ද ? වටහාගැනීම), නිරවද්‍යව හා තොරතුරු විස්තර කරමින් ලේඛනයේ නිරත වන්නේ කෙසේද ?  යන්න වැදගත් වේ. මීට අමතරව තමන් සොයාගිය තොරතුරු වල ගැඹුරක් හසු නොවෙන අවස්ථාවලදී තවත් අයෙකුගේ උපකාර ඉල්ලීමට තරම් මාධ්‍යවේදීන් නිහතමානී විය යුතුවේ. අත්දැකීම් වලින් පරිපූර්ණ මාධ්‍යවේදියෙකු  නොවේ නම් අනපේක්ෂිත සිදුවීම් වන අවස්ථාවලදී  කණ්ඩායමේ අනෙක් පිරිසගේ හැකියාවෙන් ප්‍රයෝජන ගත යුතුවේ.

සාමාන්‍ය දැනුම හා මනා පර්යේෂණ හැකියාව

ගවේෂණය සිදුකෙරෙන සන්දර්භය වටහාගැනීමෙන් අදාළ කරුණු හා ප්‍රශ්න හඳුනාගැනීමට හැකි අතර නිශ්ඵල කටයුතු වලින් වැළකී සිටිමට ද උපකාරී වේ. කෙසේවුවත්, ගවේෂණය නුහුරු මානයකට යොමුවන විටදී ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පුවතට අදාළ සම්මුති, පාරිභාෂික වචන, ප්‍රධාන පුද්ගලයින්, ප්‍රශ්න ආදී පුවතට අදාළ පසුබිම ගැන මනාව දැනුවත්ව සිටිය යුතුය. විශේෂඥයින් සමග සාකච්ඡා කර තොරතුරු ලබාගැනීම, පරීක්ෂා කිරීමේ යෙදවුම් හෝ මීට අදාළ වැදගත් පොත් කියවීමේ හැකියාව මෙහිදී අත්‍යවශ්‍ය වේ. මේ සියල්ලටමත් වඩා හැකි හැමවිටකදීම සියලුදේ කියවිය යුතුවේ. සිද්ධියට අදාළ පසුබිම ද ගවේෂණයේදී අතිශය වැදගත්වේ.

සාධාරණත්වය හා ආචාර ධර්ම ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම

ගවේෂණාත්මක පුවත් වලදී මූලාශ්‍රය ලෙස පාදක කරගන්නා පුද්ගලයින්ගේ ආරක්ෂාව, රැකියාව මෙන්ම සමහරවිට ජීවිත පවා අවදානමට ලක්වේ. ඔවුන් තොරතුරු ලබාදෙන පාර්ශ්වයන් සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස ක්‍රියාකර අදාළ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වුවහොත් එම පුද්ගලයින් ද අවදානමකට මුහුණදීමේ ඉඩකඩ ඇත.

මේ හේතුවෙන් ගවේෂණාත්මක වාර්තාකරණයේදී අදාළ මූලාශ්‍ර මෙන්ම ඊට භාජනය වන පුද්ගලයින් සම්බන්ධයෙන් ද හැකිතරම් ගෞරවාන්විතව කටයුතු කළයුතු අතර ඔවුන්ට අනතුරක් සිදුනොවීම ගැන සහතික වී තොරතුරු වාර්තා කළයුතුවේ, ගවේෂණාත්මක මාධ්‍යවේදියා හැමවිටම ශක්තිසම්පන්නව හා ආචාරධර්ම වලට ගරුකළ යුත්තේ මෙබැවිනි.

මීට අමතරව ගවේෂණාත්මක පුවත් වලට ඉඩකඩ ලබාදෙන පුවත් මැදිරි නිරන්තරයෙන්ම ආචාරධර්ම හා ආචාර ධර්මය සම්බන්ධ උභතෝකෝටික සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාදීමට මගපෙන්වීම අත්‍යවශ්‍ය වේ. සමහරවිට ජනතා විශ්වාසය ඔබේ දැවැන්තම ආරක්ෂාව බවට පත්වන අතර ආචාරධර්ම වලට ගරු නොකරමින් කටයුතු කළහොත් මෙය අහිමි වේ.

විචක්ෂණශීලීභාවය

ඕපදූප වලින් අතිවිශිෂ්ට ගවේෂණාත්මක පුවත් බිහිනොවේ. අනියත කතාබහ මගින් ගවේෂණය මෙන්ම ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවිත ද අවධානමට ලක්කරයි. ඊට අමතරව හුදු ආර්ථික වාසි තකා කටයුතු කරන ඔබේ තරඟකරුවන් මෙවැනි කතාබහ වලින් වාසි ලබාගන්නා අතර සම්මුඛ සාකච්ඡා වලට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කරන පිරිස් පූර්වයෙන් මුණගැසීමට ද හැකිවේ. වුවමනාවට වඩා කතාබහ කිරීම අනිවාර්යයෙන්ම ඔබේ ගවේෂණය කඩාකප්පල් කරන කටයුත්තක් වනු ඇත.

පුරවැසිභාවය

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් නිරන්තරයෙන්ම ‘දේශද්‍රෝහීන්‘ ලෙස හංවඩු ගැහේ. කෙසේවුවත්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පොදු යහපත හා සිය ප්‍රජාව යහපත් කරවීමට දායක වන තොරතුරු ගැන සොයාබැලීමට පෙළඹේ.


මෙම පරිච්ඡේදයේදී ගවේෂණාත්මක වාර්තාකරණය යනු කුමක්ද ? මහජන යහපත උදෙසා එය වැදගත් වන්නේ ඇයිදැයි යන්න ගැන වටහාගන්නට ලැබෙන්නට ඇත. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් හැමවිටම සිය පුවතට සහය දක්වන ලෙස තම කර්තෘවරුන්ට ඒත්තු ගැන්වීම පහසු නොවේ. ගවේෂණාත්මක පුවතේදී සොයාගැනීමට හැකි කරුණු ගැන කෙතරම් පොරොන්දු විය හැකිදැයි යන්න මත මෙය රැඳී පවතී. ඉදිරි පරිච්ඡේදයේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ ගවේෂණාත්මක පුවතක් සොයාගන්නේ කෙසේද ?, ඔබ ව්‍යාජ ඉඟි හෝ සංඥා අනුගමනය නොකරන බව තහවුරු කරගන්නේ කෙසේද යන්නයි.