1.4. හොඳ ගවේෂණාත්මක පුවතක් සම්පාදනය කිරීමට උපකාරී වන අනෙක් කරුණු


ඔබේ වෘත්තීයභාවය මෙන්ම ලිවීමේ හැකියාව ද වර්ධනය කරගත හැකි හොඳම මඟ හැකි සෑම විටම කියවීමයි. ඔබ, ඔබේ වෘත්තිය ගැන බරපතලව සිතනවා නම් ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කළ සෑමදෙයක්ම කියවාබැලීම වෘත්තීමය ගවේෂණාත්මක වාර්තාකරණය උදෙසා වන පදනම වේ.  කියවීමකින් තොරව පද්ධති හා ක්‍රමවේද ක්‍රියාත්මක වන්නේ කෙසේද, යමක් වැරදුණොත් සිද්ධවෙන්නේ කුමක්ද ගැන දැනගැනීමට මාධ්‍යවේදියෙකු අසමත් වනු ඇත. ඔබේ අතට ලැබෙන තොරතුරු පමණක් පරිශීලනය නොකොට දැනුම වර්ධනය කරගැනීමේ අරමුණින් මේ කටයුත්තේ අඛණ්ඩව නියැලෙන්න.

Investigative Reporters and Editors (IRE) හි හිටපු අධ්‍යක්ෂ වූ බ්‍රාන්ට් හූස්ටන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අත්පොත තුළ පවසන්නේ, ගවේෂණාත්මක විශේෂාංගයකට මූලබීජය සපයන බොහෝ පුවත් ජාතික පුවත්පත් වල පළවන බවයි. අන්තිම කැමති පත්‍රයක්, නම වෙනස් කිරීමක්, වෙන්දේසියක්, ටෙන්ඩරයක්, අත්පත් කරගත් දේපළ හෝ අත්පත් නොකරගත් දේපළ ආදිය ගැන මුදල් ගෙවා පළකර තිබෙන සෑම නිවේදනයක් පිටුපසම පවා ගවේෂණාත්මක පුවතක් සැගවී ඇත. නව ඉදිකිරීම් හෝ රජයේ ව්‍යාපෘති අළලා අධිකරණයේ පවතින නඩු ගැන පුවත් ජාතික පුවත්පත් වල පළවී තිබේ.

මාධ්‍යවේදීන් නිරන්තරයෙන් කළයුතු වන්නේ ප්‍රකාශයට පත්වී තිබෙන පුවත් ගැන වැඩිදුර විපරම් කිරීමයි. කලින් පළවූ පුවතක් ගැන නොනවත්වා වැඩිදුර කරුණු පළවී තිබෙන අවස්ථාවලදී ඒ ගැන කියවීමට, දැනගැනීමට පාඨකයින් හා ප්‍රේක්ෂකයින් වැඩි වැඩියෙන් කැමති බව ඒ පිරිස් යොදාගනිමින් සිදුකළ පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ. ඔවුන් දැඩි කැමැත්තෙන් පසුවෙන්නේ ඊළඟට සිදුවන්නේ කුමක්ද ? නැත්නම් දිනපතා පුවත් වල මේ ගැන මතුකර තිබෙන කතාවට හේතුවී තිබෙන්නේ කුමක්ද ? යන්න දැනගැනීමටයි.

‘ඇයි ?‘ යන ප්‍රශ්නය ඉස්මතු කර නැති පුවත් මෙන්ම එක් සිද්ධියක් ගැන පමණක් සුළු අවධානයක් යොමුකර ඇති පුවත් කෙරෙහි අවධානය යොමුකරන්න. ගෝලීය හෝ ජාතික සමරු දිනයන්හි නිතිපතා කතා ආවරණය කිරීමේ විකල්ප විධි ක්‍රම ගැන බලන්න. නිළ සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ද ඒකාකාරී ක්‍රමවේදයකට අනුව තොරතුරු ඉදිරිපත් කරන අතර මෙවැනි පුවත් තුළ මූලාශ්‍ර සැගව ඇති බව මාධ්‍යවේදීන් නොසිතයි. නමුත්, මෙම පුවත් දැඩි සුපරීක්ෂාකාරීව කියවූ විට ගවේෂණයක් ආරම්භ කළ හැකි නව හා අභියෝගාත්මක තොරතුරු සොයාගැනීමට හැකිවේ.

විදෙස් වෙබ් අඩවි හා ප්‍රකාශන ආදිය ගැන සොයාබැලීමේදී සම්පත් හිඟකම හෝ භූගෝලීය සාධක බලපෑ හැකි අතර මාධ්‍යවේදීන් කුමන හෝ අන්දමින් අදාළ තොරතුරු වෙත පිවිස දැනුම්වත් විය යුතුවේ. නොමිලේ තොරතුරු ලබාගැනීමේ හැකියාව තොරතුරු සේවා ලබාදෙන විවිධ ඒජන්සි හා රාජ්‍ය නොවන සංවිධාන සතු පුස්තකාල සේවාවන් හෝ අන්තර්ජාල පහසුකම් හරහා හිමිකරගත හැකි වනු ඇත. වෙනත් කිසිදු විකල්පයක් නැතිනම් මෙවැනි ස්ථාන වලට පිවිස හෝ තොරතුරු ලබාගත යුතුවේ.

ඔබ දිනපතා අන්තර්ජාලයට පිවිසෙන විට විවිධ පුවත් අඩවි හා ෆේස්බුක්, ට්වීටර් සමාජ ජාල හරහා ද දැනුම්වත් විය හැකිය. ට්වීටර් හරහා (ට්වීටර් ෆීඩ්) මොහොතින් මොහොත නැවුම් වන තොරතුරු ගැන දැනුම්වත් විය හැකි අතර එකිනෙක ගැටෙන අදහස් දැකගත හැකිවනු ඇත. සෞඛ්‍ය හා විද්‍යාව වැනි ක්ෂේත්‍ර වල නැවුම් දැනුම පවා මේ හරහා හුවමාරු වේ. ඒඩ්ස් වෛරසය මැඩපැවැත්වීමට හැකි ක්‍රමවේද හඳුන්වා දී ඇති පසුබිමක . සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන සමහර මාධ්‍යවේදීන් එවැනි දෑ ගැන පවා දැනුවත් වී නැත, නමුත්, ඇමරිකාව හා යුරෝපය වැනි රටවල ඒඩ්ස් මැඩපැවැත්වන ඖෂධ පරීක්ෂණ වලට භාජනය කර සාර්ථකව භාවිත වේ. සමහරවිට අන්තර්ජාලයට පිවිසීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති නිසා මෙවැන්නක් ගැන මාධ්‍යවේදීන් දැනුවත් නැත.  මේ නිසාම මේ ගැන නිවැරදි හා යාවත්කාලීන වූ තොරතුරු ජනතාව අතරට ගෙන යෑමටද නොහැකි වනු ඇත.