1.1. පුද්ගලිකත්වය ඉස්මතු වීම


ගවේෂණාත්මක පුවතක් රචනා කරන විට මූලික වශයෙන් ගැටළු දෙකකට මුහුණපෑමට සිදුවේ.

පළමුවැන්න – සමබර ගවේෂණයක් සිදුකරන බවට දැනෙන හැඟීම. ගවේෂණය කරන පුවත සම්බන්ධයෙන් රජයේ බලධාරීන් නිවැරදි තොරතුරු, කරුණු ලබාදීම වෙනුවට ඒ ගැන දෝෂාරෝපණ හා චෝදනා නැගීම හේතුවෙන් ඔබ දැඩි කෝපයට පත්වෙනු ඇත. මාධ්‍යවේදීන් කරුණු මත පදනම් වූ ගවේෂණාත්මක පුවතක් ඉදිරිපත් කිරීමේදී පක්ෂග්‍රාහී නොවීම සහතික කිරීමට තමන්ගේම හැඟීම් හා හැසිරීම් පාලනය කරගෙන හැසිරිය යුත්තේ මෙබැවිනි.

දෙවැන්න – තනි තනි වශයෙන් ලබන අත්දැකීම් පුවතේදී නියෝජනය නොවෙනු ඇත. ඔබ එක් පුද්ගලයෙකු පමණි, ඒ නිසා අදාළ සිදුවීම නිසා අගතියට පත් තැනැත්තන් ගැන අවබෝධ කරගැනීම වැදගත් වේ. මාධ්‍යවේදියෙකු වීම හේතුවෙන් නැතිනම් කාන්තාවක් හෝ පිරිමියෙකු වීම හේතුවෙන් නැතිනම් උගත් පුද්ගලයෙකු වීම හේතුවෙන් සුවිශේෂී සැලකීම් ලැබී තිබේද ? අනෙක් අයටත් මේ හා සමාන අවස්ථාවන්ට මුහුණදීමට සිදුවී තිබෙනවාද ? හැමදාම ප්‍රශ්නයක් ඇතිවෙනවද ? නැත්නම් අද විතරක් වෙනස්ද ?. එක් සිදුවීමකින් පමණක් නොනැවතී ඉන් එපිටට ගමන් කිරීම මෙවැනි උපද්‍රව ජයගැනීමට ඇති මඟයි. පුද්ගලික අත්දැකීමක් ගැන ලියන සටහන් ගවේෂණාත්මක වාර්තාවක් නොවන අතර එය හුදෙක් තීරු ලිපියක් පමණක් වේ. මෙම ගවේෂණාත්මක වාර්තාව නිවැරදි වාර්තාවක් බවට පත්කිරීමට නම් කරුණු සෙවීම, සන්දර්භය වටහාගැනීම හා ඔබ රචනා කරන අවසන් ගවේෂණාත්මක පුවතේදී පෞද්ගලිකව මුහුණදීමට සිදුවූ දුක්, කම්කටොළු වලට වඩා වැඩි යමක් නියෝජනය විය යුතුවේ.

ඔබ දන්නා පුද්ගලයින්ට මෙන්ම ඔබ සමග එකට වැඩකරන පුද්ගලයින්ට ද මෙම වාසි අවාසි අදාළ වේ. ඔවුන්ගේ අත්දැකීම් සත්‍ය වුවද පුද්ගලික හැගීම් ඉස්මතුවිය හැකි නිසා ඒවා නියෝජනය නොවේ. සමහරවිට, අදාළ අත්දැකීම සෘජුවම විඳ නැති මිතුරන්, ඥාතීන් හරහා සපයන තොරතුරු ආදියේදී, උදා –  ‘‘මගේ සහෝදරයෙක් ඉන්නවා, ගුවන්තොටුපළේදී එයා දන්න කාන්තාවකගෙන්  අල්ලස් ඉල්ලලා තිබුණා‘‘ යන්න. අදාළ කාන්තාවගේ නමක්, ලිපිනයක් හෝ ඇයව සම්බන්ධ කරගෙන සාකච්ඡා කළ හැකි අන්දමක් නැතිනම් එය හුදෙක් ඕපදූපයක් හෝ කටකතාවක් පමණි. සැබැවින්ම හොඳ ගවේෂණයක ආරම්භක ලක්ෂ්‍යය අත්දැකීම් විය හැකි බවත් එය හුදෙක් සමාරම්භය බවත් සිහියේ තබාගත යුතුය.

Centre for Investigative Journalism (CIJ) මගින් ලබාදෙන පහත උපදෙස් සිහියේ තබාගන්න

‘‘ඔබ දන්නා සමහර පුද්ගලයින්ගේ වෘත්තීය වන්නේම තොරතුරු අනාවරණය නොකර රහසේ තබාගැනීමයි. පොලිස් නිළධාරීන් එහිලා උදාහරණයකි. ඔබ දන්නා හඳුනන පුද්ගලයින් ඔබේ රාජකාරියේදී නිවැරදි ලෙස භාවිත කරන්නේ කෙලෙසින්දැයි සිතන්න. ඔබේ අසල්වැසියා හෝ මිතුරා වූ පමණින්ම ඔවුන් ඔබට උදව් කරාවි යැයි නොසිතන්න. වෙනත් අයෙකුගේ පෞද්ගලික අත්දැකීමක් ඔබේ පුවතට යොදාගැනීමට මත්තෙන් ඔවුන්ගෙන් අවසරය ලබාගන්න අමතක නොකරන්න.‘‘