1.2.1. මූලාශ්‍ර ජාලයක් නිර්මාණය කිරීම



මේ පර්යේෂණය තුළින් ඔබේ පුවතට සරිලන හොඳම මූලාශ්‍ර ගැන සංකීර්ණ හෝ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබෙනු ඇත. ඔබට අවශ්‍ය පුද්ගලයින් සොයාගන්නා තුරු ‘සබඳතා එක්කරමින් සැකසු ගසක්‘ ‍හෝ මනෝ සිතියම් ගොඩනැගිය යුතු වේ. සැලසුම් ක්‍රියාවලියේදි සාක්ෂි හා පසුබිම් තොරතුරු ලබාගැනීමට ඔබ භාවිතා කරන මූලාශ්‍ර වල ලැයිස්තුවක් පූර්වයෙන් සැලසුම් කළයුතු වේ.

ඔබේ මනෝ සිතියම තුළ එකිනෙක මූලාශ්‍ර, ඊට සහයවීමට දායක වන මේ පිළිබද දැනුමක් ඇති විශේෂඥයින් සම්බන්ධ කිරීමට ඊතල අඳින්න. වෙනත් ආකාරයේ සම්බන්ධතා අඳින්න, උදාහරණයක් ලෙස ප්‍රතිවිරෝධතා හෝ ප්‍රහේලිකා ඇති සාක්ෂි පෙන්වීමට කඩතොලු සහිත රේඛා අඳින්න. බොහෝවිට පරස්පර විරෝධයන් වඩාත් ඵලදායී වන අතර ඒවා නිතර ගවේෂණය කරමින් නිරන්තරයෙන්ම ‘ඇයි ?‘ යන ප්‍රශ්නය විමසීමෙන් මේ පුවතේ කතා සංකල්පය පමණක් නොව ඊට එහා තොරතුරු ද සොයාගත හැකිවේ. ගවේෂණයකට දිගු කාලයක් ගතවන අතර ඒ සඳහා ඉවසීම ද අවශ්‍ය වේ.

තොරතුරු ඉක්මනින් නොලැබේ යැයි කෙනෙකු කලකිරීමට පත්විය හැකි වුවත් ජනමාධ්‍යයේ වටිනාකම් මත රැඳී පවතිමින්  විෂය කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වේ. මෙහිදී හඬක් නැති අයට හඬක් වෙමින් මුරබල්ලෙකුගේ කාර්යය ඉටුකළ යුතුවේ.

ඵලදායී දත්ත සිතියම්කරණය හා පුවත තුළ තොරතුරු සංවිධානය කරන අයුරු ගැන මාර්ක් හන්ටර් හා ලූක් සෙනගර්ස් පහත කරුණු විශේෂයෙන් අවධාරණය කර සිටියි.

  • > එකිනෙක සිද්ධි කාලානුක්‍රමිකව විස්තර කරන ලිපිගොනුවක් සැකසීම (දින, ස්ථාන, අදාළ ස්ථානයේ සිටියේ කවුද ?, ඔවුන් පැවසුවේ කුමක්ද ?, සිදුවූවේ කුමක්ද ? ආදිය),  අවශ්‍ය තොරතුරු ක්ෂණිකව සොයාගත හැකි ආකෘතියකට අනුව මෙය පෙළගස්වා ගන්න. එවිට ඔබට වුවමනා තොරතුරු පහසුවෙන් සොයාගත හැකිවනු ඇත
  • > මූලාශ්‍ර ලැයිස්තුවක් හා ඔවුන්ගේ දුරකතන අංක, ලිපින ආදිය ඒකරාශී වූ ලැයිස්තුවක් හදන්න (මේ තොරතුරු සුරක්ෂිතව තබන්න)
  • > ඔබේ ගවේෂණාත්මක ව්‍යාපෘතිය පිළිබඳ කිසියම් හෝ දෙයක් දැනගත හැකි පුද්ගලයින්ගේ ලැයිස්තුවක්, ඔබ තවදුරටත් සම්බන්ධ කරගත යුතු පුද්ගලයින් හා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් හදන්න
  • > විවිධාකාර පුද්ගලයින් පිළිබඳ පවතින සබඳතා පිළිබඳ සටහන් ඇඳගන්න
  • > ඔබ සතුව මේ වනවිටත් පවතින ප්‍රධාන ලිපිගොනු හා තවදුරටත් ඔබට අවශ්‍ය ලිපිගොනු ගැන ලැයිස්තුවක් පිළියෙල කරන්න
  • > ඔබේ ලිපිගොනු ඇතුළත් මෙනුවක්, ඔබ පරිගණක ලිපිගොනු යොදාගෙන කටයුතු කරනවා නම් හයිපර් ටෙක්ස්ට් ලින්ක් ඇතුළත් ගොනුවක් සකසන්න (create hypertext links)
  • > ස්ථිර ලෙස තහවුරු වී ඇති කරුණු සුවිශේෂ කර දක්වන්න (Highlight facts)
  • > ඔබ සතු වෙනත් තොරතුරු වල තත්ත්වය ගැන සටහන් තබාගන්න
  • > ඔබට අමතක වන කරුණු ලියැගැනීමට හැමවිටම සටහන් පොතක් ළඟ තබාගන්න