2.2. ගවේෂණාත්මක සම්මුඛ සාකච්ඡාව වෙනස් වෙන්නේ ඇයි ?


සම්මුඛ සාකච්ඡා අවස්ථාවන්හිදී සැලසුම් කිරීම, සකස් කිරීම හා දැනුම්වත් කිරීම, නම්‍යශීලී අන්දමින් ප්‍රශ්න විමසීම ආදියේ පවතින මූලික මූලධර්ම අදාළ වේ. නමුත්, ඔබේ කුසලතාවන් මෙන්ම විවිධ ප්‍රවේශයන් වල අවශ්‍යතාව ගවේෂණශීලී වාර්තාකරණ ව්‍යාපෘති වලදී වැදගත් වේ. සියලු කාර්යයන් නියමිත කාලය තුළ ඉටුකිරීම මේ වෙනස්කම් වලින් එකකි. ඔබ සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන්නේ කවුදැයි යන්න ගැන පමණක් නොසිතා, ඔවුන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්නේ ගවේෂණයේ කුමන අදියරයකදී ද යන්න ද සිතන්න. ගවේෂණාත්මක වාර්තාකරණයේ සන්දර්භයන් විවිධාකාර වීම මීට හේතුවේ, ඔබට විරෝධතාවයන් එල්ලවීමට ඉඩ තිබේ. සම්මුඛ සාකච්ඡාවේ ගැටළු දැවැන්ත හා සංවේදී වනවිට ඔබේ මූලාශ්‍ර සිය ආරක්ෂාව පිණිස ප්‍රයත්න දැරීම, අදහස් නොදක්වා සිටීම හෝ උපායශීලීව මගහැර යාමට උත්සහ දරනු ඇත. ඔබ මේ අභියෝගය ජයගැනීමට වෙනස් උපක්‍රමයක් භාවිත කළයුතු අතර විවිධ අරමුණු පෙරදැරි කරගනිමින් ප්‍රශ්න කිරීමේ ක්‍රමවේදය වෙනස් කළයුතුවේ.

සුදුසු කාලය

ඔබේ ගවේෂණයේ සිටින ප්‍රධාන චරිත මුණගැසෙන්නේ කවදාද ?. ඔබේ ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කිරීමට පෙරාතුව ඔවුන් පලාගිය බවක්, ඔබට අනතුරු ඇඟවූ බවක් (නැතිනම් ඔවුන් තහනම් නියෝගයක් ලබාගත් බවක්) ඉතා ඉක්මනින්ම ඔබට දැනගන්නට ලැබෙනු ඇත. සමහරවිට ඔබ කිසියම් හෝ පියවරක් ගැනීමටත් පෙරාතුවම ඔවුන් පලාගොස් තිබෙන්නට පුළුවන, නැතිනම් ඔබේ ප්‍රශ්න වලට කලින් සැලසුම් කරගත් පිළිතුරු ලබාදෙනු ඇත, නැතිනම් නීතිමය මාර්ග වලින් උපායශීලීව ගැලවී යනු ඇත. මේ නිසාම ඔබ ප්‍රමාණවත් සාක්ෂි සොයාගත යුතු අතර (වාර්තාගත තොරතුරු සහය කරගැනීම) ඔබේ සම්මුඛ සාකච්ඡාව සිදුකිරීමට සුදුසු කාලයක් එළඹෙන තෙක් බලා සිටිය යුතුවේ.

අවදානම් සහගත බව

ඔබේ ගවේෂණාත්මක පුවත සම්පූර්ණ හෝ නිවැරදි නොවූවත් මෙමගින් යම් දෙයක් වෙත පිවිස සිටිනු ඇත. මෙවැනි තත්ත්වයකදී අදහස් විමසීමට ඔබ විසින් සිදුකරන ඉල්ලීම් වලින් බලසම්පන්න පුද්ගලයින් හෝ ආයතන දැඩි විමසිල්ලෙන් පසුවෙනු ඇත, සමහරවිට ඔවුන් ඔබව කරදරයක් ලෙස දකින අවස්ථාවන් ද තිබේ. ඔවුන් විවිධ අන්දමේ ප්‍රතිචාර දැක්වීමට පවා ඉඩතිබේ.

ඔවුන් හා කතාබහ කිරීමට ඔබ කරන ඉල්ලීම සරළව ප්‍රතික්ෂේප කරදමන්නට ද ඉඩ තිබේ, නමුත්, නොනවත්වා සත්‍යය සෙවීමට උත්සහ ගන්න. තෙවන පාර්ශ්වයකින් තර්ජන, සෘජුවම ශාරීරික හා නීතිමය හිංසන හෝ වෙනත් බියවැද්දීමේ උත්සහයන් ඔබ වෙත එල්ලවනු ඇත (සමහරවිට ඔබේ කර්තෘවරයා මෙන්ම ප්‍රකාශකයාද මෙහි ගොදුරක් වීමට ඉඩ තිබේ), ඇතැම් අවස්ථා වලදී ගවේෂණ පුවත ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථමයෙන් පූර්ව – ප්‍රකාශන නීති වලින් ද බලපෑම් එල්ල වනු ඇත. ‘අපහාසය‘ යන වදන මෙවැනි කටයුතු වලදී කේන්ද්‍රගත කරුණක් වන නමුත්, සැබෑවටම අපහාස කිරීමේ උත්සහයක් මෙහි පෙනෙන්නට නොතිබේ.

විචක්ෂණ බුද්ධිය

ගවේෂණාත්මක වාර්තාකරණයේ අරමුණ වන්නේ සැඟවී තිබෙන දේ අනාවරණය කිරීමයි. මෙය හිතාමතා බොරුකීමේ හෝ නිහඬතාව තුළින් ඇතිකරගන්නා එකඟතාවක් ද විය හැකිය. උදාහරණයක් ලෙස දුප්පත් තරුණියන් මුදලට අලෙවි වීමේ ජාවාරම ගැන පාර්ලිමේන්තුවට අසත්‍ය පවසන කැබිනට් ඇමතිවරයෙකු හෝ තරුණ පිරිස් මුදලට අලෙවි කිරීමේ ජාවාරම් ගැන කතා නොකරන සමාජයක් ගැන ගවේෂණාත්මක ලිපියකින් හෙළිදරව් කරනු ඇත.

මෙවැනි සිද්ධි ගැන කෙරෙන අනාවරණයන් හැමවිටම පුදුමසහගත හෝ කම්පනය ඇතිකරන කරුණු විය හැකිය. මින් අදහස් වන්නේ ඔබේ සම්මුඛ සාකච්ඡාව සකස් කිරීමේදී මෙවැනි ප්‍රශ්න ගැන ද සංවේදීව කටයුතු කළයුතු බවයි. ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් සොයාගැනීමට අදහස් කරන දේ ඊට පෙරාතුව හෙළිදරව් වී ඇත්නම් ඔබේ මූලාශ්‍රය ඒ ගැන කතාබහ කිරීමට පැකිලෙනු ඇත. ඔබ සිදුකිරීමට සූදානම් කර තිබෙන සම්මුඛ සාකච්ඡාව ගැන බොහෝ දෙනෙකු දැනුවත් නම් එවැන්නකින් ඔබේ මූලාශ්‍රය අනතුරේ හෙලීම සිදුවේ.

මූලාශ්‍රයක් ගැන විශේෂ අවධානයක් යොමුකිරීමට පෙරාතුව දෙවරක් සිතා බලන්න. උදාහරණයක් ලෙස සම්මුඛ පරීක්ෂණයේදී එක් තේමාවක් ගැන කතාබහ කරන බවට පොරොන්දු වී මූලාශ්‍රය පැමිණි පසු අන් දෙයක් ගැන විමසා සිටීම හෝ පූර්වයෙන් සැලසුම් නොකළ පරිදි පොදු තැනකදී සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමෙන් මූලාශ්‍රය අපහසුවට පත්වෙනු ඇත.

මෙවැන්නක් වෙනත් අයෙකුගේ රූපවාහිනී වැඩසටහනකට යෝග්‍ය අවස්ථාවක් වුවද ඔබට දරුණු පහරක් එල්ල විය හැකි අවස්ථාවකි. අනපේක්ෂිත ප්‍රශ්න වලට පිළිතුරු දෙන අන්දම මාධ්‍යවේදීන් සමග දක්ෂ ලෙස හැසිරෙන ප්‍රසිද්ධ චරිතයක් මනාව දැනසිටී, එවැන්නෙකු ඔබව කරදරකාරයෙකු ලෙස දකිනු ඇති අතර ඔබ දැරූ සියලු උත්සහයන් නිරර්ථක වනු ඇත.

උපාය මාර්ගිකව සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම

සම්මුඛ සාකච්ඡාවක් සිදුකළ හැකි උපායමාර්ගික ක්‍රම තුනක් තිබේ. අවිධිමත්, සරළ පසුබිමකින් යුතු හෝ කරුණු ඉලක්කගත කළ සම්මුඛ සාකච්ඡාවකදී සමස්ත කතාබහ පුරාම ප්‍රශ්න ගලාඑනු ඇති අතර එවැන්නකින් මූලාශ්‍රය අපහසුතාවට පත්වීමට ද ඉඩ තිබේ. මෙවැනි සම්මුඛ සාකච්ඡාවකදී අදාළ ප්‍රශ්න අතිශය වැදගත්, සංවේදී හෝ පිළිතුරු දීමට අපහසු ඒවා බවට ද පත්නොවේ. පුද්ගලයෙකුගේ චරිතයේ ගුණාගුණ ගැන ප්‍රශ්න කරන අවස්ථාවලදී යොමුකෙරෙන ප්‍රශ්න අදාළ පුද්ගලයා ඉලක්ක කරගත් ඒවා වන අතර එම ප්‍රශ්න ඉතා පටු සීමාවකට කොටුවේ.

ඔවුන් පාසල් ගියේ කොහෙද ?, විවාහ වුණේ කාසමගද ?, ඒ ඇයි ?, ඔවුන් කවි රචනා කරන්න පටන්ගත්තේ කොහොමද ? ආදී ප්‍රශ්න ආවෘත ප්‍රශ්න වන අතර අදාළ තැනැත්තාගේ ජීවිතයේ අතිශය වැදගත් කරුණු ගැන මෙහිදී විමසා සිටියි. නමුත්, ඔබේ පාඨකයින් සම්මුඛ සාකච්ඡාවට ලක්වන තැනැත්තාගේ දැක්ම ගැන දැනගැනීමට ද විශේෂ උනන්දුවක් දක්වනු ඇත. සම්මුඛ සාකච්ඡාව ක්‍රමයෙන් ගලායන අතරතුරදී එය පුළුල් වීම මේ නිසා සිදුවේ. නූතන නවකතාව ගැන ඔවුන් සිතන්නේ කොහොමද ?, ඔවුන් සාහිත්‍ය සම්මාන ගැන විශ්වාසය තබනවාද ?, මේ වසරේ සාහිත්‍ය සම්මාන වෙනුවෙන් තේරීපත්වූවන් ගැන ඔවුන්ගේ අදහස් මොනවාද ? හොරණෑවක් මෙන් මෙවැනි අන්දමේ ප්‍රශ්න පටු ලෙස ආරම්භ වී ක්‍රමයෙන් පුළුල්වෙමින් යයි, සම්මුඛ සාකච්ඡාව ක්‍රමයෙන් ගලාගෙන යනවිට වැඩි වැඩියෙන් විවෘත ප්‍රශ්න විමසීම සිදුවේ.

ගවේෂණාත්මක සම්මුඛ සාකච්ඡාවකදී අනුගමනය කෙරෙන්නේ මීට වඩා ප්‍රතිවිරුද්ධ උපායකි. එවැන්නක ආරම්භයේදීම දැවැන්ත ප්‍රශ්න විමසීම සිදුවේ, (උදාහරණ – ‘රජයේ ටෙන්ඩර් ලබාදීමේ ක්‍රියාවලිය මොකක්ද, මේ ක්‍රියාවලියෙන් තෘප්තිමත් වෙනවාද ?, ආණ්ඩුව මෙය නිරීක්ෂණය කරන්නේ කෙසේද ?). ක්‍රමයෙන් කතාබහ සිදුවෙන විට වඩාත් විස්තරාත්මක හා අරමුණුගත ප්‍රශ්න වලට යොමුවෙනු ඇත. ගවේෂණාත්මක සම්මුඛ සාකච්ඡාවකදී තිබෙන අවසන් මෙන්ම වඩාත් බරපතල ප්‍රශ්න බොහෝවිට ආවෘත හෝ යමකට මගපෙන්වන ප්‍රශ්න වනු ඇත.

උදාහරණ -‘ඔබ මේ සිද්ධිය නිසාම ටෙන්ඩර් පටිපාටිය මගහැරියාද ?, ඒ ඇයි‘. ඔබේ සම්මුඛ සාකච්ඡාව අවසානයේදී මෙවැනි ප්‍රශ්න මූලාශ්‍රයෙන් විමසන්නේ එවැන්නකදී මූලාශ්‍රය නිහඬ වීම හෝ තවදුරටත් පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බැවිනි. ගවේෂණාත්මක සම්මුඛ සාකච්ඡාවක් පුනීලයක් වැනිය, එය පුළුල්ව ආරම්භ වී අවසානයට යනවිට පටුවේ.