1.3.3. සබැඳි කරුණු හා නිගමන


සෑම පුවතක්ම හොඳින් ආරම්භ වී හොඳින් අවසන් විය යුතුවේ. ඕනෑම ලේඛනයක පවතින ශක්තිමත්ම කොටස වන්නේ ආරම්භය හා අවසානයයි. මනා ආරම්භයක් මගින් පාඨකයින්ගේ අවධානය යොමුකරවා ගැනීමට හැකි අතර ඒ හරහා සමස්ත පුවතට අදාළ රාමුවක් නිර්මාණය කර දේ. පුවතේ ආරම්භය සිත් ඇදගන්නා සුළු නොවේනම් පාඨකයින් එය කියවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව බොහෝ අධ්‍යනයන් මගින් තහවුරු කරගෙන තිබේ. මේ හා සමානවම පුවතේ අවසානය යනු පාඨකයා ඉන් උකහා ගන්නා දෙය වේ.

පුවතේ ආරම්භයේදී අනුගමනය කළයුතු ක්‍රමවේද :

  • >   සිද්ධි වල පසුබිම පිළිබඳ නාට්‍යානුසාරයෙන් හෝ චිත්ත රූප මවාගත හැකි අන්දමින් දැක්වීම
  • >   එක් කෙටි වාක්‍යයකින් සමස්ත කතා පුවතේ තේමාව දැක්වීම (සමස්ත කතාවම නොවේ)
  • >   ප්‍රතිඵලය  හෝ බලපෑම දැක්වීම, සිද්ධි සිදුවූ අනුපිළිවෙල ගැන දැක්වීමේදී අතීත සිදුවීම් සිහිපත් කළහැකිය

සෑම අවස්ථාවකදීම, සිදුවූවේ කුමක්දැයි යන්න ගැන හෝ පුවතේ ලියැවී තිබෙන්නේ කුමක්දැයි යන්න ගැන පාඨකයින්ට පැවසීමට දිගු කාලයක් වැය නොකරන්න. ගවේෂණාත්මක පුවතේ ආරම්භයේදී දක්වන හඳුන්වාදීමේදී ඒ තුළ ගැබ්වී තිබෙන කරුණු වලින් 10 % කට වඩා නොදැක්විය යුතුය. විශේෂාංග වලදී යොදාගන්නා ‘වාක්‍ය / ඡේද කීපයකින් හෝ ඡායාරූප මගින් සිද්ධිය ගැන විස්තර කිරීම‘ (‘delayed lead’) ගැන එතරම් නොසිතන්න. ඔබේ ගවේෂණාත්මක පුවත එය ආරම්භ විය යුතු තැනින් පටන් ගන්නා අතර එහිදී කරුණු ලැයිස්තුවක් අඛණ්ඩව ඇතුළත් කර නොතිබිය යුතුවේ. ඔබේ නිගමනය ද තෘප්තිමත් අවසානයක් විය යුතුවේ.

  • >   ලිහිල් අවසානයක් තබාගන්න (පුද්ගලයින්ට හා මීළඟට සිදුවන්නේ කුමක්ද යන්න)
  • >   අපි මේ ගවේෂණාත්මක පුවතට වඩ වඩාත් උනන්දු විය යුතුතේ ඇයිදැයි යන්න ගැන සිහිපත් කරමින් තේමාව සාරාංශගත කරන්න
  • >   ‘අනපේක්ෂිත සිදුවීම්‘ නිර්මාණය කරන්න (පාඨක අවධානය යොමුකරවන අන්දමේ සිදුවීම්)
  • >   සන්දර්භය ගැන පැහැදිලි කරන්න. ගැටළුව නැවතත් සන්දර්භය තුළට බහා පාඨකයින්ට බලාපොරොත්තු, බාධාවන් ගැන සිහිපත් කරදී ඉදිරියේදී ඒ කරුණු සම්බන්ධ කරන්න
  • >   ගවේෂණාත්මක ලිපිය ආරම්භයේදී අපට හමුවුණු පුද්ගලයින් වෙත නැවත ගොස් ඔවුන් ගැන අවසාන සටහන තබන්න

කිසිදිනක ගවේෂණාත්මක පුවත අවසන් කිරීමේ අදහසින් පමණක් නිගමනයක් ලබානොදෙන්න. එමෙන්ම, ‘කාලයෙන් විසඳුම් ලබාදේවි‘ වැනි වැකි කිසිදා පාවිච්චි නොකරන්න. මේ පුවත ගවේෂණය කළේ ඔබයි, නිශ්චිත විසඳුමක් නොදී ඔබ ගවේෂණාත්මක පුවත අවසන් කරන විට පාඨක විශ්වාසය ද බිඳවැටෙනු ඇත. ඔබ ඉදිරිපත් කරන කතා පුවතේදී එක් අංශයකින් තවත් අංශයක් කරා යාම හා එක් ඡේදයකින් තවත් ඡේදයක් කරා යෑමේදී ඒවා එකිනෙකට සම්බන්ධ කිරීම ද එක සේ වැදගත් වේ.

එකිනෙක සිද්ධි පෙළගැසුණු වෘත්තාන්තමය රචනාවක් නිර්මාණය කිරීමේදී අතිශය වැදගත් වන විධි ක්‍රම කීපයක්

  • >   නිරතුරුව අදාළ තේමාව සඳහන් කරන්න
  • >   අදහස් එකිනෙකට පෙළගැස්වීමේදී ඒවා විචිත්‍රවත්ව පෙන්වීමට රූපක යොදාගන්න. උදාහරණයක් ලෙස පරිසරය ගැන පැවසීමේදී එය මිනිස් සිරුරක් ලෙස දක්වමින් විස්තර කළ හැකි අතර සිරුරේ එකිනෙක කොටස් ක්‍රියාත්මක වන අන්දමින් පරිසරයේ කොටස් ක්‍රියාකරන්නේ කෙසේද යන්න දැක්විය හැකිය
  • >   ගවේෂණාත්මක පුවතේදී ඡායාරූප යොදාගන්න, යම් යම් වස්තූන්, ප්‍රස්තාව පිරුළු හෝ ගවේෂණාත්මක පුවත වටා දිවෙන දාමයක් මෙන් දැක්විය හැකි යමක් භාවිත කරන්න
  • >   සංකීර්ණ තර්කයකදී ඔබ හා පාඨකයා අතර අතිශය ශක්තිමත් සබඳතාවක් පවත්වාගැනීමට ගවේෂණාත්මක පුවතේදී යොදාගන්නා සරළ වචන වැදගත් වේ
  • එක් පරිච්ඡේදයකින් තවත් පරිච්ඡේදයක් වෙත යනවිටදී ‘හා‘, එතෙක් කතාවේ ගොඩනැගුණු දැක්ම වෙනස්වීමේදී ‘නමුත්‘, යම් සිද්ධියක් නිසා ඇතිවන ප්‍රතිඵලය ගැන කියන විට ‘එබැවින්‘, එක් කරුණක් / සිද්ධියකට පසු තවත් දෙයක් ගැන පවසන විට ‘එකල‘ වැනි වචන භාවිත කරන්න

ගවේෂණාත්මක පුවතේ පළමු කටු සටහන (පළමු කෙටුම්පත) රචනා කළද එය පරිපූර්ණ එකක් නොවන බව වැටහේවි, එය දිගු කාලයක් පුරා විවිධ හැල හැප්පීම් වලට ලක්වෙමින් ඇදී යන පුවතක් වනු ඇත. ඔබ කලින් එක්කාසු කළ තොරතුරු තවමත් වලංගුද ? නැත්නම් ඒවා සම්බන්ධයෙන් පසුකාලීනව ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් සිදුවී තිබෙනවාද ? යන්න විමසා බැලීම මෙහිදී අතිශය වැදගත් වන කරුණක් වී තිබේ. එමෙන්ම, නව කරුණු, විද්‍යාත්මක වාර්තා හෝ පරීක්ෂණ වල ප්‍රතිඵල පසුකාලීනව යාවත්කාලීන වී තිබෙන්නට පුළුවන. ඔබ වෙබ් මාධ්‍ය හරහා සිදුකරන සොයාබැලීම් නැවත නැවත සිදුකිරීම මෙහිදී වැදගත් වේ. අත් පත්‍රිකා දෙකකින් ලබාගත් ගොඩගැසී ඇති කරුණු කියවීමට පවා වෙලාවක් වැයකිරීමට සිදුවේ. එය වෙනම කොටුවක් හෝ තීරුවක් ලෙස දැක්විය හැක.

කෙසේ වෙතත්, අතිවිශිෂ්ඨ ගවේෂණාත්මක පුවත් බිහිවන්නේ ඒවා එක්වරකට වඩා සංස්කරණය වීමෙනි. ඔබ ලියූ ගවේෂණාත්මක ලිපිය සංස්කරණය කිරීම පරිබාහිර හෝ සුළුකොට තැකිය හැකි කටයුත්තක් නොවේ. එය ඔබට හැකි උපරිමයෙන් ගවේෂණාත්මක පුවත ඉදිරිපත් කළහැකි ක්‍රියාවලියේම කොටසක් වේ. සංස්කරණය හා නැවත නැවත සකස් කිරීම අතිශය පීඩාකාරී නම් සංස්කරණය හා මේ ගැන විවේචන සපයාගැනීමට ඔබේ සගයෙකු හෝ කණ්ඩායම් සාමාජිකයෙකුගේ උපදෙස් පතන්න. බොහෝ හොඳ අදහස් ජනිත වන්නේ සාමූහික ක්‍රියාකාරකම් වලිනි.