2.3. ගවේෂණාත්මක සම්මුඛ සාකච්ඡාව අතරතුරදී


මේ ඔබට අවශ්‍ය පිළිතුරු ලබාගැනීමට සිදුකරන කතාබහකි

ඔබේ ඉලක්කය වන්නේ හැමවිටම සැබෑ කතාව හෙළිදරව් කිරීම මිස ‘ජයගැනීම‘ නොවේ. ඔබට අවශ්‍ය කාලය ගෙන බෙහෙවින් සන්සුන්ව, ප්‍රකෝපකාරී නොවී සංවාදය මෙහෙයවන්න. මේ සම්මුඛ සාකච්ඡාවේ මූලික අරමුණ විය යුත්තේ සෑමවිටම තොරතුරු හා පිළිතුරු ලබාගැනීම වන අතර ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න මෙහි පරමාර්ථය වෙත යන මාර්ගය වේ. ඔබ නිකුත් කරන ඕනෑම සංඥාවක්, ඇහිබැම එහෙ මෙහෙ කිරීමක්, විහිළු තහළුවක්, සිනහවක් ආදී මේ හැමදෙයක්ම ඔබේ මූලාශ්‍රය එසැණින් ග්‍රහණය කරගනු ඇත. ඔබ මනුෂ්‍යයෙකු වන නිසාම මෙමගින් ඔබේ ප්‍රතිචාරය පිළිබිඹු විය හැකිය. රූපවාහිනී තිරයක් මතදී නම් කිසිදු හැඟීමක් නැති මුහුණක් දෙස බැලීම අතිශය නීරස කටයුත්තක් වනු ඇත.

නමුත්, අතිශය සුපරික්ෂාකාරී වී සීමා මායිම් නිශ්චිතව දැනගන්න. ආන්දෝලනාත්මක ප්‍රකාශ වලදී තමන් ‘විනිශ්චයකට‘ බඳුන්වන බව මූලාශ්‍රයට සිහිපත් වන අතර ඔවුන් ප්‍රතිචාර දක්වන සෑමවිටකම විමසා බලා පිළිතුරු දීමට උත්සහ දරනු ඇත, මූලාශ්‍රය කෝපගන්වන අන්දමේ ප්‍රශ්න විමසන අවස්ථා වලදී ඔවුන් පිළිතුරු නොදී සම්මුඛ සාකච්ඡාව අවසන් කර යෑමට ද ඉඩ තිබේ, සමහරවිට ඔබ ආක්‍රමණශීලීව කටයුතු කරන විට එහි අහිතකර ප්‍රතිවිපාක පෙරළා ඔබටම ලැබෙනු ඇත. ඔබේ ප්‍රතිචාර හැමවිටම එකවර ලබාදෙනු වෙනුවට මැනවින් සිතාබලා ලබාදෙන්න උත්සහ ගන්න. මූලාශ්‍රය යම් තර්කයක් ගෙනඑන්නේ නම්  එවැනි අවස්ථාවකදී ඔවුන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙනු වෙනුවට අදාළ තර්කය මතම එල්බ සිටිනු ඇති අතර මෙමගින් නිසි පිළිතුරු නොදී බැහැරට යාමට ද ඉඩ තිබේ.

අදාළ කාරණයට පිවිසෙන්න

සම්මුඛ සාකච්ඡාව අතරතුරදී ඔබ මූලාශ්‍රයෙන් විමසන අතරමැදි ප්‍රශ්න වලට වඩා ඔහු / ඇය ලබාදෙන පිළිතුරු අතිශය වැදගත් වේ, මේ නිසා සම්මුඛ සාකච්ඡාව අතරතුරදී මූලාශ්‍රය පිළිතුරු ලබාදෙන විට මැසිවිලි නගන්න හෝ බාධා කරන්න එපා. අත්දැකීම් සහිත දේශපාලඥයෙකු හෝ ව්‍යාපාරිකයෙකු සම්මුඛ සාකච්ඡා සිය දහස් ගාණකට සහභාගී වී තිබෙනු ඇත. ඔවුන්ගේ කාලය අතිශය වටින නිසාම ප්‍රශ්න මඟහැරයන්නට වුවමනා නම් ඔවුන් එය මගහැරයනු ඇත. ඔවුන් මුහුණදෙන ප්‍රශ්න ගැන අනාවරණය කරන්නට ඔබට හැකිබව ඔවුන්ට අවබෝධ වුවහොත් සිය වෘත්තීය, මුදල් ආදිය අහිමි වී යා හැකි නිසා තවදුරටත් ප්‍රශ්න වලට මුහුණදීමට ඔවුන් පැකිලෙනු ඇත. මූලාශ්‍ර හා ඔහුගේ මනෝභාවය ගැන ප්‍රවේශමෙන් හදාරන්න, ප්‍රශ්නය හමාර කරන්න ඔබ ගන්නා උත්සහය අසාර්ථක වේ නම් ඒ ප්‍රශ්නය සෘජුව විමසන්න. මූලාශ්‍රය ලබාදෙන පිළිතුරු පහසුවෙන් තේරුම්ගැනීමට නොහැකි නම් ප්‍රශ්නය නැවත සකස් කර තවත් වතාවක් උත්සහ කර බලන්න. සමහර මූලාශ්‍ර වලට සිය සිතුවිලි පිළිවෙලකට සකස් කිරීමට වුවමනා වන නිසාම තවත් වතාවක් උත්සහ කර බැලීමට ද සතුටු වනු ඇත. ඔහු / ඇය ලබාදෙන පිළිතුරට මනාව ඇහුම්කන් දෙන්න, ඔබේ ප්‍රශ්නයට ඇත්තටම පිළිතුරක් ලබාදෙනවාද ?, එසේ නැත්නම් නැවත වතාවක් උත්සහ කරන්න. ඔබේ මූලාශ්‍රය පවසන දේ තවදුරටත් සහතික කරගැනීමට ඔවුන් ලබාදෙන පිළිතුර නැවත නැවතත් ඔවුන්ටම පැවසිය හැක. (උදා – ‘එහෙනම් ඔබ කියන්නේ ?‘ යනුවෙන් විමසිය හැක)

සම්පූර්ණ පිළිතුරක් ලබාගන්න

ඔබේ මූලාශ්‍රයට නිශ්චිත පිළිතුරක් ලබාදීමට අවශ්‍ය නැති විට, ‘මෑතකදී‘, ‘කීපදෙනෙකු‘, ‘බොහොමයක්‘ හෝ ‘තීරණාත්මක කාර්යයක්‘ වැනි පිළිතුරු ලබාදෙනු ඇත. මෙවැනි අවස්ථාවකදී නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න විමසිය යුතුවේ, ‘කවදාද ?‘, ‘කොපමණද ?‘, ‘ඒ සංඛ්‍යාව ඔබට ගණනය කළහැකිද ?‘, ‘ඔබ හරියටම කරන්නේ කුමක්ද ?‘ ආදී නිශ්චිත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න විමසිය යුතුවේ. මෙම ක්‍රමය සංවෘත පිළිතුරු සඳහා ද භාවිත කළහැකිවේ. මූලාශ්‍රය ප්‍රශ්න මාලාවක් අවසන් කිරීමේදී ‘ඔව්‘ හා ‘නැහැ‘ යන පිළිතුරු යොදාගත හැකිවේ. සමහරවිට ඔබට වැඩි විස්තර අවශ්‍ය වන අවස්ථාවලදී නැවතත් ප්‍රශ්නාවලිය වෙත යා යුතුවේ. ‘ඔබ කොන්ත්‍රාත්තුව අත්සන් කළාද ?‘, ‘ඔව්‘, ‘එහෙම කරන්න හේතුවුණු කාරණා ගැන පැහැදිලි කරන්න පුළුවන්ද ?‘ ආදිය එවැනි අවස්ථාවකදී යොදාගත හැකිවේ.

තවත් ප්‍රශ්නයකට යාමට පෙර සෑම පිළිතුරක්ම විශ්ලේෂණය කරන්න. ඔබ බලාපොරොත්තුවන අන්දමේ පිළිතුරු . කුසලතා පූර්ණ පුද්ගලයින් ලබාදෙනු ඇත, නමුත්, ඔබ නැවත වතාවක් සටහන් කියවා බලන විට ඔවුන් වලින් මඟහැරගොස් ඇති බව පෙනෙනු ඇත.

උදාහරණ – ‘ඔබ X දිස්ත්‍රික්කයේ සායනයට ඖෂධ යැව්වාද ? යැයි විමසන විට ‘ඔව්, ඇත්ත වශයෙන්ම එම සායනයට අදාළ සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා‘ ලෙස පිළිතුරු ලබාදෙනු ඇත. මින් පෙනෙන්නේ ‘ඔව්‘ යන්න වුවත් ඔබ විමසා සිටින තොරතුරු සෘජුවම ඉදිරිපත් නොවේ. ‘ඔබ යැව්වේ මොන ඖෂධ ද ?‘, ‘ඒවා යැව්වේ කවදාදා ?‘, ‘මේ ඖෂධ යැවූ බව තහවුරු කරගත්තේ කොහොමද ?‘, ‘ඒවා ලැබුණු බව සනාථ කර තිබෙනවාද ?‘, ඔබේ මූලාශ්‍රය ලබාදෙන පිළිතුරු තේරුම් නොගියහොත් එවැනි ප්‍රශ්න විමසිය හැකිවේ.  කිසිවක් තේරුම්ගත නොහැකි වී තිබෙන මොහොතක පිළිතුරු වටහාගත් බව පෙන්වනවාට වඩා ඔබ ව්‍යාකූලත්වයෙන් සිටින බව පිළිගැනීම වඩා හොඳය.

‘ඔබ පැවසූ කාරණේ අපේ පාඨකයින්ට හෝ ප්‍රේක්ෂකයින්ට තේරුම් නොයාවි, මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද ?‘ යනුවෙන් ඔබට විමසිය හැකිවේ. ඔබේ වචනයෙන්ම වාක්‍ය ඛණ්ඩය නැවතත් විමසන්න. ‘ඇමතිතුමනි, මට තේරුම් ගියපු විදියට ඔබතුමා මේ කියන්නේ XY මෙහිදී හේතුවුණා කියලද ?‘ යනුවෙන් විමසිය හැකිවේ.

ලිපි කටයුතු හා විශේෂඥයින්ට යොමුකරන ලිපිගොනු

ඔබේ සම්මුඛ සාකච්ඡාවේදී පුවත්පත් නිවේදන, ලිපි ලේඛන, අධ්‍යයනය වාර්තා හෝ ඡායාරූප ආදී සියල්ලේ ඡායා පිටපත් ලබාගැනීමට වගබලාගන්න. මූලාශ්‍රය බලාපොරොත්තු නොවූ දෙයක් සම්මුඛ සාකච්ඡාව අතරතුරදී පවසන විට ඔබට ඒ ගැන පැවසිය හැකිවේ. ඔබේ ටේප් රෙකෝඩරය මෙන්ම සම්පූර්ණ අවධානය ද සම්මුඛ සාකච්ඡාව කෙරෙහි තබාගන්න. සම්මුඛ සාකච්ඡාව අවසන් වූ පසු විවිධ සිද්ධි හා ඒවා සිදුවූ අන්දම ගැන ඔහු / ඇය පවසනු ඇත. මේ අවස්ථාව ගැන සැලකිලිමත් වෙමින් පසු විපරම් ප්‍රශ්න විමසීමට අවසර ඉල්ලා සිටින්න.

පුරාජේරු වලට නොරැවටෙන්න

මෙය සම්මුඛ සාකච්ඡාවක් මිස සතුටු සාමීචියක් නොවේ. ඔබ මෙම සාකච්ඡාව සිදුකරන්නේ තොරතුරු සොයාගැනීමට මිස අනුග්‍රහය විමසීමට නොවේ. ‘ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්‘, ‘මේක වටහාගතයුතු ප්‍රශ්නයක්‘ යනුවෙන් ඔබට පිළිතුරු ලැබෙන විට ඔවුන් ඔබට ප්‍රශංසා ලබාදෙනු වෙනුවට සිදුකරන්නේ සිය පිළිතුර සොයාගැනීමට අමතර තත්පර කීපයක් සොයාගැනීමයි. ගවේෂණාත්මක සම්මුඛ සාකච්ඡාව අවසන් වූ පසු මූලාශ්‍රයට තොරතුරු ලබාදීමට අවස්ථාවක් විවර කරදෙන්න. මෙමගින් ඔබට අවබෝධයක් ලැබෙනු ඇත.

ඔහු / ඇයට ඔබෙන් යමක් විමසීමට තිබේදැයි අසන්න, ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කරන්නේ කෙසේද ?, කවදාද ? ආදිය ගැන දැනගැනීමට මෙමගින් ඔවුන්ට අවස්ථාව හිමිවේ. හැමවිටම සම්මුඛ සාකච්ඡාව පහත සඳහන් ප්‍රශ්න වලින් අවසන් කරන්න, ‘මං ඔබෙන් විමසිය යුතු තවත් මොනාහරි තියෙනවද ?‘, ‘ඔබට මේ කතාබහට තවත් මොනාහරි දේවල් එකතු කරන්න තියෙනවද ?‘.

කැපවීම

ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කිරීමට පෙර එය මූලාශ්‍රයට පෙන්වන බව පැවසීමට එකඟ නොවන්න.‘‘පුවත ප්‍රකාශයට පත්කරන්න කලින් මට පෙන්වනවා කියලා ඔබ කිව්වා නේද ?‘‘ යනුවෙන් මූලාශ්‍රය විමසන විට, ඔබ පිළිතුරු දිය යුත්තේ, ‘‘නැහැ, ඇත්තටම, ඔබ ඒ ගැන සාකච්ඡා කරන්න කැමති නම් මගේ සංස්කාරකවරයාට කතාකරන්න‘‘. මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්න වලින් ලිස්සායෑමට උත්සහ දරන මූලාශ්‍ර බොහෝ විට මෙවැනි ප්‍රශ්න විමසනු ඇත. ඒ නිසා මෙවැනි පුද්ගලයින් සමග කටයුතු කරනවිට ප්‍රවේශම් වන්න.

 මුලාශ්‍රය අවසාන විනාඩි කීපයේදී පවසන ප්‍රකාශ නොසලකා හරින්න එපා

සම්මුඛ සාකච්ඡාව අවසානයේදී මූලාශ්‍රය වඩාත් සැහැල්ලුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට පෙළඹේ.  සාකච්ඡාවේදී අවධානයට ලක්වූ යම් යම් මාතෘකාවන්, තේමාවන්, හෝ නම් ගැන වැඩිදුර විස්තර විමසාබැලීමට මේ කාලය යොදාගන්න. පසුකාලීනව යම් තොරතුරක් ගැන වැඩිදුරටත් පැහැදිලි කරගැනීමට මූලාශ්‍රයේ දුරකථන අංක, ඊමේල් ලිපින ආදිය විමසා සිටින්න, ඔබේ විසිටින් කාඩ්පත හෝ දුරකථන අංක ආදිය ද ඔවුන්ට ලබාදෙන්න. අවසාන මොහොතේදී ඔවුන්ට ස්තුති කිරීමට අමතක නොකරන්න. මේ වෙනුවෙන් ඔවුන්ගේ කාලය කැප කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළකරන්න.  සමහරවිට මූලාශ්‍රය ඔබට අපහාස කර බැණවැද ඇති අවස්ථාවකදී වුව ඔවුන් සමග කතාබහ කිරීමට ඔබ කැමැත්තෙන් සිටින බව පෙන්වීමට උත්සහ ගන්න. සම්මුඛ සාකච්ඡාව පසුබිම් තොරතුරු සොයාබැලීමට උපකාර වූවේ නම්, එය මිත්‍රශීලී අන්දමින් ගලාගියේ නම්, අමතර අවබෝධයක්, තොරතුරු ලබාගත හැකි ප්‍රභවයන් තිබේදැයි විමසා බලන්න. ඔබේ මූලාශ්‍රයේ නම භාවිත කරමින් තවත් ස්ථානයකින් හෝ පුද්ගලයෙකුගෙන් තොරතුරු ලබාගැනීමට හැකිවේ නම් එමගින් නව අවස්ථාවන් විවර වෙනු ඇත.

සම්මුඛ පරීක්ෂණය අවසන් වූ වහාම ඔබ තැබූ සටහන් විමසා බලන්න

සම්මුඛ පරීක්ෂණය අවසන් වූ වහාම ඔබ තැබූ සටහන් නැවත විමසා බලන්න. මෙය ඔබේ කෙටි කාලීන මතකයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගන්නා මොහොත වේ. ඔබ මේ සටහන් විමසා බැලීමට තවත් දවසක් ගත්තොත් මූලාශ්‍රය සැබැවින්ම ඉඟි කළේ කුමක් ගැනදැයි යන්න අමතක වී යනු ඇති අතර එම කරුණ තහවුරු කරගැනීමට ද නොහැකි වනු ඇත. ඔබේ සටහන් වල තිබෙන හිදැස් පිරවූ පසු මේ ගැන විපරම් කිරීමට තවත් සම්මුඛ සාකච්ඡා පැවැත්විය යුතු ද යන්න නිශ්චිතව දැනගැනීමට හැකිවනු ඇත.