4. නොසැලකිල්ල හා බිය නැතිකරගන්නේ කෙසේද ?


සම්මුඛ සාකච්ඡාවට බඳුන්වන තැනැත්තා ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ප්‍රතික්ෂේප කිරීමට හේතුවන කරුණු බොහොමයක් ඇත. අප ඉහතදී අවධානයට බඳුන් කළේ සිය ආරක්ෂාව පතන ‘නිල අල්ලන තැනැත්තෙකු‘ සමග ඔබ කටයුතු කළයුතු අන්දම ගැනයි, නමුත්, මිනිස්සු මාධ්‍ය සමග කතාබහ නොකර සිටීමට හේතුවන සැබෑ හා සාධාරණ කරුණු පවතී. අපක්ෂපාතී මාධ්‍ය මෙන්ම ඒවාට තොරතුරු ලබාදෙන පිරිස් ද බොහෝ රටවලදී කරදර, හිරිහැර මෙන්ම අතිඅමානුෂික අත්දැකීම් වලට මුහුණදී තිබේ. මීට අමතරව ඔබේ සම්මුඛ සාකච්ඡාවට ලක්වන තැනැත්තන් සිය ජීවිත කාලයේදී සම්පූර්ණයෙන් සුවය ලැබීමට පවා නොහැකි වන අන්දමේ ක්ෂතිමය අත්දැකීම් වලට මුහුණදී තිබෙන ඇත, නැත්නම් ඔහු / ඇය හෙළිදරව් කරන කරුණු නිසා සිය ප්‍රජාව අතර පවා ඔවුන් අපකීර්තියට ලක්වෙනු ඇතැයි බියට පත්වේ. ඔබ ඔවුන් සමග කතාබහ කිරීමට කැමති බව ඇඟවූ විට ඔවුන් කතාබහ කරනු ඇත, තොරතුරු හෙළිදරව් කිරීමට අකමැති මූලාශ්‍රයක් ඔබ සමග කතාබහට යොමුකරගත හැකි හොඳම ක්‍රමය වන්නේ මඟ විවරකර දෙන අයෙකුගේ (door-opener) සහය ලබාගැනීමයි.

මූලාශ්‍රය වඩාත් බියට පත්වන කරුණු මොනවාදැයි සොයාබලා ඒ බිය පහකර ඔවුන්ව ඔබට හැකි තරම් සුරක්ෂිත කළහැකි අන්දම කවරේදැයි පැහැදිලි කර සම්මුඛ සාකච්ඡාවට පිවිසෙන්න. සම්මුඛ සාකච්ඡාව සිදුකිරීමට පෙර ඔබේ සංස්කාරකවරයා සමග සාකච්ඡා කර ආරක්ෂණ ක්‍රමෝපායක් ගැන කතාබහ කරගන්න. මන්ද, ඉටුකළ නොහැකි පොරොන්දු ගැන ඔබට පවසන්නට ද නොහැකි නිසාවෙනි.

ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කිරීමට පෙරාතුව මූලාශ්‍රය ඒ ගැන දැනුවත් කර කැමැත්ත ලබාගන්න

‘දැනුවත් කර කැමැත්ත‘ ලබාගැනීම (‘Informed consent’) යනුවෙන් අදහස් වන්නේ ‘ඔබ කියන දේ ප්‍රකාශයට පත්කරාට කමක් නැහැනේද ?‘ යනුවෙන් මූලාශ්‍රයෙන් විමසීම පමණක් නොවේ. ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කළ පසු අත්විය හැකි ප්‍රතිවිපාක, අවදානම, ලබාගත හැකි ආරක්ෂණ උපක්‍රම මෙන්ම ලබාගත නොහැකි ආරක්ෂණ උපක්‍රම  ගැන ද ඔබේ මූලාශ්‍රය මනාව දැනුවත් බවයි, මේ සියලු දෑ ගැන දැනුවත් කර පුවත ප්‍රකාශයට පත්කළ යුතුවේ. මිනිසුන්ව බියට පත්නොකරන්න, එමෙන්ම ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන තොරතුරු ද ඔවුන්ගෙන් නොසඟවා නොසිටින්න. ඔබේ ගවේෂණාත්මක පුවත ප්‍රකාශයට පත්කළ පසු එය ‘ජනගත වූ පසු‘ අනෙක් පිරිස් ද තොරතුරු ලබාදෙන්නට ඉදිරිපත් වන විට පුවත තව තවත් ශක්තිමත් වනු ඇත. මූලාශ්‍රය හා ඔබ අතර ඇති සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරගැනීමට මේ සංවාද මහෝපකාරී වන අතර සමහර අනන්‍යතාවන් සැඟවී ගොස් තිබුණද ඔබේ සත්‍යවාදී බව ද තහවුරු කරනු ඇත.

සහකම්පනය – අනුකම්පාව නොවේ

මූලාශ්‍රය සමග කතාබහ කරන විට ‘අම්මෝ, කොච්චර භයානකද ?‘, ‘අනේ ඔයා පව්‘ වැනි වදන් භාවිත කරන විට ඔවුන් දුර්වල හා අසරණ තත්ත්වයකට පත්කරනවා මිස සවිබලගැන්වීමක් සිදුනොවේ. ඔහුගේ / ඇයගේ කතාව බෙදාහදාගැනීමට සුරක්ෂිත ස්ථානයක් තෝරාගන්න. ඔවුන් සමග කතාබහ කිරීමේදී මධ්‍යස්ථ හැඟීමෙන් යුතුව, ඔවුන්ට විවෘතව සවන්දෙමින්, සිය සිතුවිලි හා සංවේදනාවන් විඳගැනීමට ඉඩකඩ මෙන්ම කාල අවකාශය ද ඔවුන්ට ලබාදෙන්න. සාමාන්‍යයෙන් ලබාදෙන දිරිමත් ප්‍රතිචාර ලබාදෙන්න. මෙහිදී ඔබ ඔළුව වැනීම, ‘ඔව්, කියන්න, මට ඒ ගැන තව ටිකක් විස්තර කරනවද ?‘ වැනි වැකි භාවිත කළහැකිය. සංස්කෘතිකමය වශයෙන් යෝග්‍ය නම් පමණක් ඔවුන්ව සැනසවීමට ඔවුන්ගේ අත පිරිමැදීම වැනි කටයුත්තක් සිදුකළාට වරදක් නැත. ඔබේ මානුෂීය ගුණාංගයන්ට ඉස්මතුවීමට ඉඩදෙන්න.

ලිවීම නතර කරන්න

සමහර අවස්ථාවලදී ඔබ මූලාශ්‍රය සමග කතාබහේ යෙදෙමින් එම තොරතුරු සටහන් කරගැනීම ඔවුන්ට පීඩාකාරී කටයුත්තක් විය හැක. ප්‍රශ්න කිරීම සංවේදී කතාබහක් ගැන නම් ඊට මැනවින් සවන් දෙන්න. ඔබට පසුව සටහන් තබාගත හැකිය.

ගරුකරන බව පෙන්වන්න

කඩිමුඩියේ ප්‍රශ්න යොමු නොකරන්න. අතිශය සංවේදී ලෙස කටයුතු කරමින් මූලාශ්‍රය ලබාදෙන ප්‍රශ්න විකෘති නොකරන්න. ඔබ මූලාශ්‍රය වූවා නම් ඔබ මීට කෙලෙස මුහුණදේදැයි සිතන්න, ඔබේ ප්‍රශ්න අතිශය සංවේදී නොවන්නට වගබලා ගන්න.

තරමක් දැඩිවෙන්න

ඔබ සංවේදීව කටයුතු කළයුතු වුවත් තරමක් අසීරු ප්‍රශ්න විමසිය යුතුවේ. ඔබේ මූලාශ්‍රය වදහිංසා වල ගොදුරක් බව කිසිවෙකු කී පමණින්ම එය සැබෑවක් බව නොසිතන්න. එය සත්‍යයක්දැයි ඔහු / ඇයගෙන් විමසා දැනගන්න. බොරු පම්පෝරිකාරයින්ගෙන් ප්‍රවේසම් වන්න. ඔවුන් පවසන කතාවේ නිරවද්‍යතාව ගැන තහවුරු කරගත නොහැකි නම් මින් ඉදිරියට ඒ ගැන වැඩිදුර තොරතුරු සොයාබැලීමට නොහැකි බව පැහැදිලිව පවසන්න, වෙනත් සම්මුඛ සාකච්ඡා සිදුකර මේ ගැන හරස් නිරීක්ෂණ කිරීමේ ඇති වැදගත්කම නොසලකා හරින්න එපා.

ප්‍රතික්ෂේප කිරීම් ගැන දැනුවත් වී සිටින්න

සාමාන්‍යයෙන් විවිධ හේතු කාරණා මුල් කරගෙන මිනිස්සු බොරු හෝ අර්ධ සත්‍යය පවසන අතර ඒවා අතිශය අන්තගාමී නොවේ. ප්‍රතික්ෂේප කිරීම යනු පිළිගත් මනෝවිද්‍යාත්මක තත්ත්වයකි, මිනිස්සුන්ට සත්‍ය මුහුණදීම තිත්ත වන විට ඔවුන් තමන් ගැන පවතින සත්‍යය වසන් කරයි. උදාහරණයක් ලෙස තමන් ලිංගික අතවරයකට පත්වූ බව හෝ අනෙක් අය දූෂණය කරන අන්දම දුටු බව කිව නොහැකි නිසා යම් අයෙකු සත්‍යය ප්‍රතික්ෂේප කරනු ඇත.


නිවැරදි ප්‍රශ්න ඇසීමෙන් ඔබට ගවේෂණය කිරීමට තරම් පුවතක් තිබේද නැත්ද යන්න තීරණය කළහැකිය. පුවතට අදාළ සියළුම තොරතුරු ඒකරාශී කිරීම ගවේෂණාත්මක පුවතක තිබෙන මූලික කාරණයක් වුවද මෙය පාඨකයින්ට තේරුම්ගත හැකි පුවතක් රචනා කිරීම තරම්ම වැදගත් කරුණකි. මීළඟ පරිච්ඡේදයේදී ඔබ ඒකරාශී කළ තොරතුරු එකිනෙකින් තෝරාබේරා ගන්නේ කෙසේද යන්න හා එය බලපෑම් සහගත ගවේෂණාත්මක පුවතක් ලෙස රචනා කරන අන්දම ගැන සාකච්ඡා කෙරෙනු ඇත.