1. ‘හොඳ‘ පුද්ගල මූලාශ්‍ර හඳුනාගන්නේ කෙසේද ?


මූලාශ්‍ර සොයාගැනීම, මුලාශ්‍ර වර්ධනය කරගැනීම හා මූලාශ්‍ර සමග සබඳතා පවත්වාගෙන යාම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සිදුකරන තීරණාත්මක කටයුතු වේ. ඇසින් දුටු සාක්ෂිකරුවන්, පළමු අත්දැකීම සහිත පුද්ගලයින් හෝ මේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වී සිටින අය වඩාත් වැදගත්, විශ්වසනීය හා සජීවි ප්‍රභවයන් වේ. ඔබ ඇසින් දුටු සාක්ෂිකරුවන් හඳුනාගන්නේ අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටි පුද්ගලයින්ගේ නම් වලින් හෝ ඔබ එතැන සිටියදී ඇසූ දුටු අයගෙනි. යම් සිද්ධියකට ජනතා මැදිහත් වීමක් වූ බව දැනගතහොත් සැබෑවටම එතැන ඔවුන් සිටියාදැයි යන්න තහවුරු කරගත යුතුවේ. සාක්ෂිකරුවෙකු මේ අවස්ථාව අත්විඳ ඇත්නම් ඔහු / ඇය ඔබට වටිනා වත්කමක් වනු ඇත. අදාළ සිද්ධිය සිදුවූ අවස්ථාවේදී නිරීක්ෂණය කළ දේ වාර්තා කරන විටදී ඔබ පවා ඉතාම වැදගත් සාක්ෂිකරුවෙකු වේ.

ඔබ ලියන සෑම ගවේෂණාත්මක පුවතකදීම ඔබේ පුවතට හසුවන විෂය පථය පුළුල් කළයුතුය. බොහෝ අවස්ථාවලදී, වාර්තාකරණය අතරතුරදී මෙය ඵෙන්ද්‍රීයව සිදුවේ. නමුත්, ඔබ සුවිශේෂී ගවේෂණාත්මක ව්‍යාපෘතියක කටයුතු කරන විට, ඉතා වැදගත් හා විශ්වසනීය මූලාශ්‍ර ජාලයක් ගොඩනගාගැනීමට සක්‍රියව කටයුතු කළයුතුවේ. ඔබේ මාධ්‍යවේදී සගයන් නොසලකා නොහරින්න, ඔවුන් සතුව වටිනා පෞද්ගලික සම්බන්ධකම් පැවතිය හැකිය, නමුත්, යම් ගවේෂණාත්මක පුවතක් සම්බන්ධයෙන් එදිරිවාදිකම් ඉස්මතු වුවහොත් ඒ හා සම්බන්ධ තොරතුරු බෙදාහදාගැනීමට ඔබ අකමැති වනු ඇත.

ඔබේ ගවේෂණය කරන මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයන් ගැන ද සොයාබලන්න.  ක්‍රීඩා සමාජ, ආගමික සංවිධාන හා පුණ්‍යායතන ගැන ද සලකා බලන්න. මෙවැනි ආයතන වලට සම්බන්ධ වූවන් ඔබ සොයන පුද්ගල චරිතයට අදාළව කුමන ආකාරයේ හෝ සම්බන්ධතාවක් පැවතිය හැකි නිසා ඔවුන්ට ඔහු / ඇය ගැන කුමන අන්දමේ හෝ ආකල්පයක් තිබිය හැකිය.

ඔබ තෝරාගත් විෂය ක්ෂේත්‍රයට අදාළව කලින් කටයුතු කර ඇති පුද්ගලයින් ගැන සොයාබලන්න. උදාහරණ ලෙස – හිටපු ව්‍යාපාරිකයින්, හිටපු භාරකරුවන්, සේවකයින්, වෛද්‍යවරු, ගුරුවරු හෝ හිටපු පොලිස් නිළධාරීන්, නැතිනම් හමුදා නිළධාරීන් ආදිය. මේ විෂයට සම්බන්ධ ආරවුලක් හෝ නඩු විමසීමකට සම්බන්ධ අය ද වැදගත් සාක්ෂිකරුවන් විය හැකිය. මතක තබාගන්න, ඔවුන් ඔබට තොරතුරු ලබාදෙන විට ඊට සිය හැඟීම් හා ආකල්ප ද එක්කරනු ඇත. සංවර්ධන පර්යේෂකයෙකු වන ජෝ හැන්ලොන් මෙය විස්තර කරන්නේ, ‘දන්නා හඳුනන කාන්තාව සොයාගැනීම‘ ලෙසයි.