මාධ්‍යවේදීන් පුවතක සෑම පැතිකඩක්ම ගවේෂණය කළයුතු වේ, එක් පක්ෂයකට ධනාත්මක කරුණු හා අවිනිශ්චිත දෑ, පැමිණිලිකාරයාගේ මෙන්ම චූදිතයාගේ ක්‍රියාවන් ද මීට ඇතුළත් වේ. ඕපාදූප, පුද්ගලික අත්දැකීම් හෝ පර්යේෂණාත්මක කරුණු නිවැරදිව හඳුනාගන්නේ කෙසේද ?

වෙබ් මාධ්‍ය හරහා තොරතුරු සොයාගන්නා විට අතිශය වැදගත් ප්‍රශ්න දෙකක් විමසිය යුතුවේ.

පළමුවැන්න - මේක ලිව්වේ කවුද ?, ඔවුන් ගැන තියෙන සාක්ෂි මොනවද ? මෙය ලියන්න උනන්දු වී තියෙන්නේ ඇයි ?. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දෙයක් වෙබ්, ට්වීටර් හා ෆේස්බුක් මාධ්‍ය තුළ පළකල හැකිවේ. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමින් යුතු පිරිස්, චින්තකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි දේශපාලන දැක්මක් ඇති පිරිස් පවා මේ අතරට ඇතුළත් වේ. තොරතුරු වල විශ්වසනීයත්වය අත්‍යවශ්‍ය වන්නේ මෙබැවිනි.

දෙවැන්න - මේ තොරතුරු පළකල පුද්ගලයින් ගැන පවතින ජනගත තොරතුරු මොනවාද ?  යන්නයි. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මොවුන්ගේ ජීවිතය, අධ්‍යාපන මට්ටම, කලින් කළ රැකියාවන් ආදිය ගැන අවබෝධයක් ලබාගත යුතුවේ. අදාළ පුද්ගලයින්ගේ ෆේස්බුක් හා ට්වීටර් ගිණුම් පරීක්ෂා කළ යුතුය. නව ව්‍යවසායක් ගැන සඳහන් කර තිබෙන විට මූලික කාර්යයක් බවට පත්වෙන්නේ ගවේෂණයයි, සමහරවිට අදාළ පුද්ගලයින්ගේ මිතුරන්, ඔවුන්ගේ සතුරන් මෙන්ම ඊට අදාළ රජයේ පාර්ශ්වයන් ගැන විමසා බැලිය යුතුවේ.

උදාහරණයක් ලෙස අලුතින් පත්වූ කෘෂිකර්ම ඇමතිවරයා රටේ ප්‍රධානතම ධාන්‍ය නිෂ්පාදන සමාගමේ පිරිස සමග එකට සිටින විට මෙවැන්නකට අවසර ඇතත් මෙය නීත්‍යනුකූලද ? මෙතැන ලැදියාවන් ගැන ගැටුමක් තිබෙනවා නේද ? යි විමසිය යුතුවේ. මෙවැනි සහසම්බන්ධතා සොයාගැනීම හොඳ ගවේෂණාත්මක පුවතකට අතිශය ප්‍රයෝජනවත් වේ.

පෙට්‍රල්, ඉඩකඩම් හෝ ශිෂ්‍යත්ව වැනි දුලබ අවස්ථාවන් වලදී දූෂණ සිදුවීමට ඇති අවස්ථා එමටය. මෙවැනි සම්පත් බෙදී යන්නේ කෙසේද ? ඒ බෙදාහැරීමේ වැඩපිළිවෙල කුමක්ද ? යන්න ගැන සොයාබැලීමේදී මේ සම්පත් වල දුලබ බව නිසාම පුද්ගලික අභිමතාර්ථයන් ඉස්මතු වී දූෂණ සිදුවී තිබෙන අවස්ථා සොයාගත හැකිවේ. ඉතාම සූක්ෂමව මීට අදාළ වෙබ් අඩවි පිරික්සීමෙන් මේ සම්බන්ධ අනාවරණය කර ඇති තොරතුරු  මෙන්ම වසන්කර ඇති තොරතුරු ගැන වැඩිදුරටත් අනාවරණය කරගත හැකිවේ.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිළධාරීන් හෝ දේශපාලඥයින් තමන්ට එල්ල වන චෝදනා වලින් බේරීමට ව්‍යාජ ලිපි ලේඛන සාක්ෂි වශයෙන් නිර්මාණය කරයි. නිල ලිපි ශීර්ෂ (ලෙටර් හෙඩ්) පහසුවෙන් සොයාගැනීමට හැකි ඕනෑම අයෙකුට පරිගණකයක් හා ඡායා පිටපත් යන්ත්‍රයක ආධාරයෙන් මෙවැනි කූඨ ලේඛන සැකසීමට හැකිවේ. සමහරවිට සැබෑ ලිපි ලේඛන වල ද අත්‍යවශ්‍ය තොරතුරු වසන් කර හෝ මකාදමා තිබෙන්නට පුළුවන. සමහර අවස්ථා වලදී අතිශය තාක්ෂණික වචන යොදාගනිමින් ඒ ඒ ක්ෂේත්‍ර වල නිපුණත්වයක් ඇති මාධ්‍යවේදීන්ට අවබෝධ කරගත නොහැකි අන්දමට මේවා සකසා තිබෙන්නට පුළුවන. එවැනි විටකදී මූලාශ්‍ර ගැන මනා පළපුරුද්දක් හා නිපුණත්වයක් ඇති පිරිස් වලින් මේ ගැන විමසන්නට සිදුවේ.

ගණකාධිකාරීවරු, නීතිඥයින් නැතිනම් වෛද්‍යවරුන් වැනි ස්වාධීනව ක්‍රියාකරන විශේෂඥයින්ගෙන් මෙවැනි ලිපිගොනු ගැන විමසිය හැකිය. සරළව තේරුම්ගත හැකි ලිපිගොනු වැරදි ලෙස අර්ථකතනය කර තිබෙනවා වන්නට ද පුළුවන. දූෂණ විරෝධී චෝදනා ඉතා ඉක්මනින් ගිලිහී යනවිට මාධ්‍යවේදීන්ට අතිශය සූක්ෂමව කටයුතු කරන්නට සිදුවේ. අදාළ න්‍යාය පත්‍රයේ හෝ තොරතුරු ලබාදුන් පුද්ගලයින්ගේ ගොදුරක් නොවී  සිය අරමුණු කවරේද යන්න මනාව තේරුම්ගෙන ඉදිරියට යා යුතුවේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ඔබ දන්නා පුද්ගලයින් සමග නිරන්තර කතාබහ තුළින් ද ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලිය හැකිය. ඒ ඒ පුද්ගලයින් සමග ශක්තිමත් සබඳතාවක් ඇතිකරගැනීම තුළින් අනෙක් මාධ්‍යවේදීන් වාර්තා කරන්නට ප්‍රථමයෙන් සාර්ථක පුවත් වාර්තාකළ හැකිවේ. ඔබ එවැනි පුද්ගලයින් සමග කතාබහේ නිරත වන්නේ ඔබට අවශ්‍ය විට පමණක් නම් ඔවුන් සිතන්නේ ඔබේ වුවමනාකම් සපුරාගැනීමට ඔවුන්ව භාවිත කළා යන්නයි. මෙය පවතින සම්බන්ධතා සමග ‘ක්‍රියාකාරී වීම‘ යනුවෙන් හැඳින්වේ. හොඳ ගවේෂණාත්මක පුවත් ඔබ සොයා නොඑනු ඇති අතර නිර්මාණාත්මක ශක්‍යතා දියුණු කරමින් එවැනි පුවත් සොයා යා යුත්තේ ඔබයි.

ස්වීඩන් රූපවාහිනියේ, Uppdrag Granskning (Mission Investigate) හි ප්‍රධාන සංස්කාරකවරයා වන නිල්ස් හැන්සන් පළකරන අදහස්.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු මෙන්ම INSEAD හි මහාචාර්යවරයෙකු ද වන මාර්ක් හන්ටර් හා ලූක් සෙන්ගර්ස් පවසන්නේ,

‘‘අපි තොරතුරු ඒකරාශී කරන්නේ එමගින් පුවතක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් වුණත් පුවත් බිහිවෙන්නේ හුදෙක් තොරතුරු ඒකරාශී කිරීම පමණක් අරමුණු කරගෙන නොවෙයි. ඔබට හැඟීම් ඇවිස්සීමට අවශ්‍යයි, ඔබේ පාඨකයින්ව කෝපයට පත්කිරීමට අවශ්‍යයි, කඳුළු සැලීම මෙන්ම පවතින තත්ත්වය වෙනස් කිරීමේ තිර අදිටනත් ඔවුන්ට ලබාදිය යුතුයි. සාක්ෂි ඒකරාශී කිරීමට විශාල කාලයක් වැය කිරීමෙන්, ඔබේ ජීවිතය මෙන්ම ආදරණීයයන්ගේ ජීවිතය ද අනතුරේ තැබීමේ ඇති අරමුණ මොකක්ද ?. මිනිස්සු යනු ඔබේ ගවේෂණය තුළ සිටින චරිත මිසක් හුදෙක් උද්ධෘතයන් නොවේ.‘‘