2. සුරක්ෂිතව දුරකථන ඇමතුමක් ලබාගන්නේ කෙසේද ?

2. සුරක්ෂිතව දුරකථන ඇමතුමක් ලබාගන්නේ කෙසේද ?


ඔබේ මූලාශ්‍රය සමග අතිශය සංවේදී, රහසිගත තොරතුරු හුවමාරු කරගන්නා විට ඔහු / ඇය මුණගැසී එම තොරතුරු ලබාගැනීමට උත්සහ ගන්න. දෙපාර්ශ්වයක් අතර දුරකථන සංවාදයක් ඇතිවන විට බොහෝවිට බාහිර පාර්ශ්වයක් ඊට මැදිහත්වී ඔවුන්ට අවශ්‍ය තොරතුරු උකහා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. මේ නිසා හැකි සෑම විටම අතිශය රහසිගත තොරතුරු දුරකථනය හරහා හුවමාරු කරගැනීමෙන් වැළකී සිටින්න. ස්කයිප් වැනි මාධ්‍ය පවා අතිශය රහසිගත තොරතුරු හුවමාරු කරගැනීමට ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස නම්කළ නොහැක. වට්ස්ඇප්, වයර් හා සිග්නල් වැනි ක්‍රමවේද මගින් ද දෙපාර්ශ්වයක් අතර දුරකථන සංවාදයක් සිදුකළ හැකි වුවත් ඒවා සීයට සීයක් සුරක්ෂිත බව පැවසිය නොහැක.

ඔබේ මූලාශ්‍රය මුණගැසීමට හැකි ස්ථානයක් ගැන සාකච්ඡා කරගැනීමෙන් පසු ඔබේ ජංගම දුරකථනය නිවසේ තබා යන්න, නැතිනම් එය ක්‍රියාවිරහිත කරන එහි බැටරිය ගලවා තබන්න, දුරකථනය ආවරණ කලාපයෙන් තොර බව සහතික කරගන්න. මීට අමතරව විද්‍යුත් චුම්භක සංඥා අවහිර කරන (Faraday Cage Phone Case) දුරකථන ආවරණයක් ද භාවිත කළ හැකිය. එඩ්වඩ් ස්නෝඩන් සිය සංවාදයන් වල රහස්‍යබව ආරක්ෂා කරගැනීමට ජංගම දුරකථනය ශීතකරණය තුළ බහා තිබේ.

එමෙන්ම, ඔබේ දුරකථනයේ තිබෙන ඇප්ස් සංඛ්‍යාව ද සීමාකළ යුතුවේ. සාමාන්‍යයෙන් ඔබ දුරකථනයට ඇප් එකක් එකතු කරන සෑම විටම දත්ත මෙන්ම දුරකථනයේ තොරතුරු වලට  පිවිසීමට ද අවසර පතනු ඇත. එබැවින් හැකි සෑම අවස්ථාවකදීම ඇප්ස් මෙම ඉල්ලීම සිදුකරන විට ඊට පිවිසීමට නොදී සිටිය යුතුවේ. IOS හා Android දුරකථන වල පුද්ගලිකත්ව සැකසුම් (privacy settings) තුළ මේ පිවිසීම අක්‍රිය කිරීමට හැකිය. නමුත්, අදාළ ප්‍රවේශ අවසර නැතිව ඇප්ස් ක්‍රියා නොකරන බව ද මතක තබාගන්න.

ඇප්ස් බාගත කරගැනීම ආරම්භ කිරීමට පෙර ඔබේ මූලාශ්‍ර වලට මේ බව කියාදෙන්න, නැත්නම් වෙනත් ආරක්ෂණ උපාය මාර්ගයන් අනුගමනය කරන්න, නැතිනම් ආරක්ෂක ජාල ආකෘතියක් ගැන සිතන්න.

BuzzFeed හි Global Security අංශයේ අධ්‍යක්ෂ වන ජේසන් රීච් මේ වීඩියෝවෙන් පෙන්වා දෙන්නේ නිවැරදි ආරක්ෂක ක්‍රමවේද තෝරාගැනීමේ වැදගත්කම හා ඉන් අත්වන වාසි ගැනය.


මෙම පරිච්ඡේදයේදී මූලික අවධානය යොමුකෙරුණේ වැඩකිරීමට යෝග්‍ය සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම හා ගවේෂණයකදී සීයට සීයක් සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බවයි. ඔබේ මූලාශ්‍රය සුරක්ෂිතව සම්බන්ධ කරගැනීම හා තොරතුරු ලබාදෙන පාර්ශ්ව මුණගැසීමට පෙර අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමෝපායන් කවරේද  යන්න ද මෙම තොරතුරු වලින් දැනගන්නට ලැබෙන්නට ඇත. ඉදිරි පරිච්ඡේද වලදී පහත දැක්වෙන විමර්ශන පියවර අනුගමනය කිරීමට සූදානමින් සිටින්න. ඔබේ විමර්ශනයේ සියලු පැතිකඩ ගැන සොයාගන්නේ කෙසේද ? , ඔබේ මූලාශ්‍රය හමුවූ පසු නිවැරදි ප්‍රශ්න විමසන්නේ කෙසේද ?, ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට වඩාත් සුදුසු සම්මුඛ සාකච්ඡා ක්‍රමවේද, ශිල්ප ක්‍රම කවරේද ? යන්න.