1.3.1. ගවේෂණාත්මක පුවතේ ව්‍යුහය හා එය ඉදිරිපත් කරන විලාසය

1.3.1. ගවේෂණාත්මක පුවතේ ව්‍යුහය හා එය ඉදිරිපත් කරන විලාසය


විශේෂාංග පුවතක්, සාමාන්‍ය පුවතක් හෝ විශේෂාංගයක් රචනා කිරීමේදී අනුගමනය කරන ප්‍රධාන ව්‍යුහයන් තුනක් පවතී.

  1. 1. කාලානුරූපීව පුවත ඉදිරිපත් කිරීම – ගවේෂණාත්මක කතා පුවත කාලයත් සමග අනාවරණය කිරීම මෙහිදී සිදුවේ. සිද්ධිවූ අනුපිළිවෙල හා ක්‍රියාවන් ගවේෂණයේ දී දිගහැරේ.
  2. 2. ආඛ්‍යානය (කතන්දරය) – යම් කාල පරිච්ඡේයක් තුළ පැවති තත්ත්වයන් අනුගමනය කිරීම, සැබෑ ගවේෂණය සිදුකරමින් කතාව අනාවරණය කරගැනීම
  3. 3. ක්‍රියාවලිය – ගවේෂණයට බඳුන් වන කතාව තුළ පවතින ගැටළු හා තර්ක ගැන මෙහිදී වටහාගැනීමට හැකිවනු ඇත. (නිශ්චිත කථාව අනුව මෙය සකස්වෙනු ඇත). ගවේෂණාත්මක පුවත රචනා කරනවිට එය කොටස් වලට වෙන්කරගන්න. ප්‍රශ්නය, මෙහි බලපෑමට ලක්වන්නේ කවුද ?, මේ ගැන පවතින එකිනෙකට පටහැනි අදහස් කවරේද ?, ඔබ සොයාගත් තොරතුරු මොනවාද ? ආදිය මෙහි ගැබ්විය යුතුවේ.

මෙම කොටස් සාපේක්ෂ වශයෙන් සරළ ගවේෂණාත්මක පුවතකදී හැඳින්වීම හා නිගමනය ලෙස දක්වා තිබෙන විට අවසන් පුවත තුළදී සෑහීමකට පත්විය හැක.

ගවේෂණාත්මක පුවතක් රචනා කිරීමේදී පාඨකයින්ට අතිශය වැදගත් වන ප්‍රශ්න හා කරුණු පළමු තැනට ගැනෙන අතර සාහිත්‍යමය හැකියාවන් දෙවැනි තැනට වැටේ. ඔබ සොයාගත් තොරතුරු ගවේෂණාත්මක පුවතක් බවට පත්කිරීමේදී ක්‍රම ගණනාවක් අනුගමනය කළ හැකිවේ. ලේඛන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ගවේෂණාත්මක පුවතකට ප්‍රවේශවිය හැකි අන්දම ගැන විවිධ අදහස් දක්වයි.

ගවේෂණාත්මක පුවතක් එදිනෙදා අප දකින පුවතකට වඩා කරුණු වලින් සමන්විත වන අතර එය අතිශය සංකීර්ණ වේ. පාඨකයින්ට මෙවැනි ගවේෂණාත්මක පුවතක ඇති සංකීර්ණ තොරතුරු වෙත පිවිසීමට හැකි අන්දමට එහි මග හා ව්‍යුහය සකස් කරදෙනු ලැබේ.

පොදුවේ යොදාගන්නා ගවේෂණාත්මක පුවත් වාර්තා රචනයේ ව්‍යුහයන් තුනකි. එනම්,

(A) The ‘Wall Street Journal’ formula හි ආකෘතිය:

  1. 1. නඩුව හා ගැටළුව අතර සිද්ධිය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පුද්ගලයෙකු හෝ යම් සිදුවීමක් පදනම් කරගනිමින් ලිපිය ආරම්භ කිරීම
  2. 2. තනි පුද්ගලයෙකුට බලපෑ සිද්ධියක සිට දැවැන්ත ගැටළු දක්වා මෙය පුළුල් වූ ආකාරය ගැන විමසීම. තනි පුද්ගලයෙකුට බලපෑ සිද්ධිය හා පුළුල් වශයෙන් බලපාන ගැටළුවක් දක්වා පැමිණීමේ සම්බන්ධය ගැන‘එක් ඡේදයකින් සිද්ධියේ පසුබිම පිළිබඳ විස්තර කිරීම‘ (nut graph)
  3. 3. පුද්ගලයින්ට බලපාන නිගමනයක් වෙනුවෙන් නැවත ඔබේ සිද්ධි අධ්‍යයනය වෙත පැමිණීම

(B) කැරොල් රිච් විසින් වැඩිදියුණු කරන ලද ‘High Fives’ සංකල්පය තුළදී ඉදිරිපත් කරන කරුණු වන්නේ

  1. 1. ප්‍රවෘත්ති (සිදුවුණේ හෝ සිදුවෙමින් පවතින්නේ කුමක්ද ?)
  2. 2. පසුබිම (සිද්ධියට අදාළ පසුබිම කුමක්ද ?)
  3. 3. විෂය පථය (මෙය සිද්ධියක්ද ?, දේශීය වශයෙන් ඇතිවෙන ප්‍රවණාත්වක්ද ?, ජාතික ප්‍රශ්නයක්ද ?)
  4. 4. මායිම (මෙය මඟපෙන්වන්නේ කුමකටද ? කොතැනකටද ?)
  5. 5. බලපෑම (ඔබේ පාඨකයින් මේ පුවත ගැන සලකාබැලිය යුත්තේ ඇයි ?)

මේ මූලිකාංග 5 හොඳ ගවේෂණාත්මක පුවතක් රචනා කිරීමේදී ‍අත්‍යවශ්‍ය වනවා මෙන්ම ඒවා එකිනෙක හා ගැළපිය යුතුවේ. එසේ නොමැති වුවහොත්, අතිශය කෙටි පුවත් පහක් එකිනෙකට අමුණා ඇති බව පෙනෙනු ඇත. නමුත්, මෙය දීර්ඝව ලියැවී වෙබ් මාධ්‍යයේ පළවන ගවේෂණාත්මක පුවතකට මනාව සුදුසු වන ආකෘතියකි, මෙහිදී දීර්ඝව සැකසුණු ආඛ්‍යානයක් නිසි ලෙස කළමනාකරණය කරගත් කොටස් වලට බෙදාගැනීමට අවශ්‍ය වන අතර පාඨකයින්ට එය පහසුවෙන් සොයාගැනීමට ද හැකිවිය යුතුවේ.

(C) පිරමීඩ සංකල්පය

සාමාන්‍ය පුවතක් රචනා කරන්නේ ‘යටිකුරු පිරමීඩ‘ සංකල්පයට අනුවයි. (ප්‍රධාන කරුණු මුලින් දක්වා අඩු වැදගත්කමක් ඇති කරුණු / ප්‍රධාන කරුණු වලට උපකාර කරන කරුණු පසුව දැක්වීම). ගවේෂණාත්මක වාර්තාකරණයේදී යටිකුරු පිරමීඩ සංකල්පය නිවැරදි අතට හැරවීමට සිදුවේ. ඔබ සොයාගත් කරුණු වලින් සමස්ත පුවත ගොඩනැගිය හැකි අතර ඒ හරහා පාඨකයින්ට මඟපෙන්විය හැක.

  1. 1. කතා තේමාවේ සාරාංශය ආරම්භයේදී දක්වන්න
  2. 2. ඔබ සොයාගත් දේවල් වලින් අනාගත සංසිද්ධි ගැන පෙන්වා දෙන්න
  3. 3. ඔබේ ගවේෂණය හරහා ඉදිරියට ඇදෙන්න, සැකය එලෙසින්ම තබාගනිමින් සුවි‍ශේෂී කම්පනයක් ඇතිකරවන හෝ අපූරු සොයාගැනීමක් සිදුකරන සිද්ධි කරා ඇදෙන්න. මේ හෙළිදරව් කිරීම අද්භූත නවකතාවක් හෝ විද්‍යාවේ පෙරළියක් කරන නවකතාවක් රචනා කිරීමට සමාන වේ
  4. 4. අතිශය වැදගත්, පෙරළිකාර තොරතුරු අවසානයේදී හෙළිදරව් කිරීමට සුරැකිව තබාගන්න

මෙවැනි අවස්ථාවකදී ප්‍රබන්ධ ලේඛකයෙකු සතු හැකියාවන් ඔබ සතුවිය යුතුවේ. ඔබ මෙහිදී ප්‍රබන්ධ රචනයක් නොකළද සාහිත්‍යමය ශිල්ප ක්‍රම භාවිත කරමින් සිටියි. සෑම මාධ්‍යවේදියෙකුම අපූරු කතා ගොතන්නෙකි. මෙතැන ඇති වෙනස ඔබ මෙහිදී සැබෑ සිද්ධි පදනම් කරගනිමින් කතා ගොතන්නෙකු ලෙස කටයුතු කිරීමයි. මෙය පුවත් රචනයේ නව ප්‍රවේශයක් වන ‘වෘත්තාන්තමය / කතා පුවතක් ඉදිරිපත් කිරීමේ ජනමාධ්‍යකරණය‘ (narrative journalism) නමින් හැඳින්වේ.

ලේඛකයෙකු වන සූසන් ඊතන් පවසන අන්දමට,

‘‘කතන්දර රචනා කරන ලේඛකයින් විසින් සිදුකරන සියලුම කටයුතු වල අධිකාරය ඔවුන් සතුවේ. සිද්ධි වූ අනුපිළිවෙල හා කතාවේ නොවිසඳුණු කොටස් වල වගකීම ඔවුන්ට භාරය. සියලුම දේවල් වෙනස් ද්‍රෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බැලීම මොවුන්ට භාරය. කතන්දර රචනා කරන ලේඛකයින් ශාස්ත්‍රීය සාහිත්‍යයේ ඇසුර ලබා තිබේ. මේ සියල්ල එකට එක්වූ කතාවක් හරහා පාඨකයින්ට තේරුම්ගත හැකි අන්දමට එය ඉදිරිපත් කර තිබේ. කතන්දර රචනා කරන ලේඛකයින් කොටස් එකිනෙක අමුණමින් අර්ථයකින් යුතු කතාවක් ගොතා ඇත (..).මෙමගින් කුමන ක්‍රමවේදයක් වඩා හොඳ දැයි කිව නොහැකි වුවද (..) අදාළ කාරණයේ හරය ගැන නිශ්චිතව කියා තිබේ. (..). මෙය කතුවැකියක් රචනා කිරීමට වඩා හාත්පසින්ම වෙනස් වූ කටයුත්තකි (..). ව්‍යාකූලත්වයෙන් සිටින මිනිසුන්ට මඟපෙන්වන මාර්ගෝපදේශකයෙකු ලෙස ඔබ මැදිහත් වේ.‘‘

ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේදී වෘත්තාන්ත රචනා ක්‍රමය යොදාගන්නා බව ඉහත විස්තර ද්විත්වයෙන්ම දැකගත හැකිවේ. මෙහිදී එක් අනතුරු ඇඟවීමක් සිදුකළ යුතුවේ. ඇමරිකානු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඩැනී ෂෙචර් ඇමරිකාව අළලා නිර්මාණය කළ සිනමාපටයකදී ඉරාක යුද්ධය, සමූල ඝාතක අවි ආදී සිද්ධි මාධ්‍ය මගින් ආවරණය කළේ කෙසේදැයි පෙන්වන අතර ‍මෙහිදී කතා පුවතක් ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය යොදාගෙන ඇති අන්දම දැකගත හැකිවේ. ඇමරිකානු මාධ්‍යට අතිශය ගැටළු සහගත දෑ හා තර්කයන් නොසලකා හැරීමට හැකිවූවේ තනි තනි පුද්ගලයින්ගේ කතන්දර දෙස අවධානය යොමුකිරීමෙන් කතා පුවතක් ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය භාවිත කිරීම නිසාය. මෙවැන්නකින් කතා පුවතක් ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය අවප්‍රමාණය නොකෙරේ. ඕනෑම ලිඛිත ශිල්පීය ක්‍රමයකදී මෙන් මෙහිදීද උචිත සන්දර්භය තුළ සවිඥානිකව හා කුසලතා පූර්ණව කතා පුවත් ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය යොදාගත යුතු බව සිහිපත් කරදේ.

‘වෘත්තාන්තමය / කතා පුවතක් ඉදිරිපත් කිරීමේ ජනමාධ්‍යකරණයේදී‘ (narrative journalism) යොදාගන්නා මෙවලම් කීපයක්

චිත්‍රය හා සිද්ධියේ පසුබිමඔබ Wall Street Journal ප්‍රවේශය අනුව යමින්  පුවත ඉදිරිපත් කරන්නේ නම් සමස්ත ගවේෂණ ක්‍රියාවලිය පුරාවටම අවධානය යොමුකරගෙන සිටීමට සිදුවනු ඇත. අදාළ සිද්ධිය ඔබේ ප්‍රධාන මූලාශ්‍රය ඇසුරින් හෝ පාඨකයින්ට සත්‍ය යැයි දැනෙන අන්දමින් විස්තර කළයුතුවේ. මින් අදහස් කරන්නේ සෑම දෙයක්ම අතිශය සංවේදී ලෙස විස්තර කිරීම නොව (මේ සඳහා ඔබට ප්‍රමාණවත් තරම් ඉඩක් ද නැත) ඔබේ කතාවට වටිනාකමක් එක්කිරීමට හැකි සත්‍ය විස්තර එක්කිරීමයි.

ඉඟි – හෝඩුවාවන් ගවේෂණාත්මක පුවතේ ආරම්භයේදී මෙම කතාව මඟපෙන්වන්නේ කොතැනකටදැයි යන්න ගැන ඉඟි හෝ හෝඩුවාවන් ඔබේ ප්‍රේක්ෂකයින් වෙත දැක්වීම අතිශය වැදගත් වේ. ඔබ පිරමීඩ ව්‍යුහය අනුගමනය කළහොත් මේ උපක්‍රම යොදාගැනීමට පුරුදු වනු ඇත. ගවේෂණාත්මක පුවතේ අවසන් අනාවරණයන් සිදුකරන තෙක් පාඨකයින්ට ගවේෂණාත්මක පුවත ගැන උනන්දුවක් ඇතිකිරීමට ප්‍රමාණවත් වන තොරතුරු ලබාදිය යුතුවේ.

වේගවත් බව, ව්‍යුහය හා වචන ලේඛනයේදී වේගවත් බව අතිශය වැදගත් වේ. සෑම කතන්දරයකදීම ඔබ තෝරාගන්නා ව්‍යුහය හා වචන මගින් ගවේෂණාත්මක පුවත කෙතරම් වේගවත් ද කෙතරම් සෙමෙන් නිර්මාණය වන්නක් ද යන්න තීරණය කෙරෙනු ඇත. කෙටි වාක්‍යයන් හා වචන යොදාගැනීම මගින් මේ කටයුතු තවත් වේගවත් වනු ඇති අතර දිගු වැකි යොදාගැනීමෙන් ගවේෂණාත්මක පුවත රචනා වීමේ වේගය තවත් බාලවනු ඇත.

එක් ඡේදයක් තුළ තාක්ෂණික තොරතුරු විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබෙන අවස්ථාවලදී පාඨකයින්ට මේ පුවත සෙමින් කියැවීමට සිදුවනු ඇත, මෙවැනි අවස්ථාවකදී කෙටි වැකි යොදාගත්තද මෙහි කිසිදු වෙනසක් සිදුනොවෙනු ඇත. ගවේෂණාත්මක පුවතේදී අනවශ්‍ය ලෙස පසුබිම් කරුණු හා සන්දර්භය ගැන කරුණු එක්කිරීමෙන් පුවත අවසන්වීමට ප්‍රථමයෙන් මෙය  නීරස වනු ඇත. මෙමගින්  ගවේෂණාත්මක පුවතට වටිනාකමක් එක්වෙනවාද ? නැත්නම් මෙය හුදෙක් අමතර වචනයක් පමණක්ද ? යනුවෙන් නිරන්තරයෙන් ඔබෙන්ම ප්‍රශ්න විමසන්න. ගවේෂණාත්මක පුවතට කිසිසේත්ම අවශ්‍ය නොවන වචන කපාහරින්න.

ඔබ රචනා කළ ගවේෂණාත්මක පුවත ඔබ විසින්ම කියවන විට මේ කතා පුවත ගලායන්නේ කෙසේද යන්න හා එහි වේගය කෙබඳුදැයි දැනෙනු ඇත. එමෙන්ම, ගවේෂණාත්මක පුවත ප්‍රමාද නොවන්නේ කොතැනින්ද, වඩාත් බියක් දැනෙන්නේ හා අසීරු වන්නේ කොතැනකදීද යන්න වටහාගත හැකිවනු ඇත.

ඔබේ හොඳම සංස්කාරකවරයා වන්නේ ඔබේ කණයි, ලේඛකයෙකු ලෙස ඔබේ ස්වභාවික මිනිස් හඬ අහිමි වී ගියේ කොතැනකදීද, ඔබේ භාෂාව අතිශය දීර්ඝ වෙහෙසකර සංසිද්ධියක් බවට පත්වූයේ කොතැනකදීද, භාෂාව සංකීර්ණ වූයේ හෝ වැරදි වූයේ නැතිනම් කියවීම ඇණහිටියේ කොතැනකදීද යන්න ඔබටම දැනගැනීමට හැකිවනු ඇත.

ඔබ එදිනෙදා කතාබහ කරන අන්දමින් මෙන් ගවේෂණාත්මක පුවත සංවාදාත්මකව රචනා කරන්න, මෙහිදී පාඨකයින්ට ඔබේ හඬ හඳුනාගැනීමට හැකිවනු ඇත. නමුත්, කථනයේදී හඬ, අභිනයන්, ඇස් වලින් ඇතිවන සම්බන්ධතාව හා මුහුණේ ඉරියව් ආදිය ඇතුළත් වන අතර මේවා ලේඛනයේදී දැක්විය නොහැකි වන නිසා ඔබ රචනා කළ කොටස් නැවත සංශෝධනය කිරීමට සිදුවනු ඇත. නිවැරදි ව්‍යාකරණය හා විරාම ලකුණු මගින් පුවතට හඬක් ලැබෙන අතර විශේෂයෙන් අවධාරණ කළයුතු දෑ හා ලිඛිත කරුණු වලට සියුම් වෙනසක් එක්කර දේ. කතාබහ කරන විටදී දෑත්, ඇස් හා මුහුණේ පේශීන් මගින් සිදුකරන කාර්යය ලේඛනයේදී සිදුවන්නේ කඩදාසි මතයි.